මුලතිව් පොලිස් වසමට අයත් වට්ටුවාක්කල් පාලම අසලදී අද (25) දහවල් සිදු වූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
වට්ටුවාක්කල් පාලම අසල දී මෙම පිපිරුම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිපිර ගොස් ඇත්තේ කිසියම් බෝම්බයක් බවට සැක පලකරන්නේ යැයි මුලතිව් පොලීසිය පැවසීය.
අදාළ පිපිරීමෙන් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ තවත් තරුණයෙකු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර තිබේ.
පිපිරීමෙන් මිය ගොස් ඇත්තේ මුලතිව් වට්ටුවාක්කල් ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි කුමාර්ස්වාමි චන්ද්රමෝහන් වන අතර බරපතළ තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි වට්ටුවාකක්ල් ප්රදේශයේ පදිංචි සෙල්වකුමාර් චන්ද්රරූබන් නැමත්තෙකි.
පිපිරීම සිදුවූ ස්ථානයේ මේ වන විට පොලීස, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර ප්රදේශයේ ආරක්ෂාව ද සපයා ඇති බවට මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.