අමුතුරාජවෙල රක්ෂිතයේ දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරණ බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.
එහෙත් යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
“මේ හඳුනාගත් ප්‍රදේශය තුළ සියලු දේම වගුරුබිම් නොවෙයි. මේ ප්‍රදේශ තුළ තැනින් තැන වගුරුබිම් තියෙනවා. තැනින් තැන දැනටමත් ගොඩකරලා තියෙන ජනාවාස තියෙනවා. මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මොකද ඒක අපිට කරන්න ප්‍රමාද වැඩියි. දැනටමත් ජනතාව මේවාගේ ජීවත් වෙනවා. ජනතාව මේවාගේ ව්‍යාපාර කරනවා. ඒ අයගේ දෛනික වැඩපිළිවෙළට බාධා කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මේ වගුරුබිම් පිරවීම පහත්බිම් ගොඩකිරීම වළක්වන එක.
එතකොට අපි මෙතනින් එහාට ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන එකින් අදහස් කරන්නේ නැවත ගොඩකිරීම් කරලා ඒවාවල ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මොනයම් ආකාරයකින්වත් ඔවුන්ගේ ජීවන රටාවට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ටත් ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට කසළ බැහැර කරන්න. ඒවාගේම අලුතින් ඉඩම් අල්ලා ගන්නට.”
කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,දැනට පවතින ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළ හොත් ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර ගැටලුව කිසිවෙකුට වැළැක්විය නොහැකි බවය.