කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සරණ වී සිටින අප ශ්‍රී ලාංකිකයින් 10,000 ප්‍රමාණයක් ඉතාමත් අඩු වියදමකින් එකවර එම රටවල සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ආ හැකි ව්‍යාපෘතියක් ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම විසින් සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියට අනුව ඩුබායි හි පිහිටි “ජබල් අලි” වරායේ රඳවා තිබෙන විශාල ප්‍රමාණයේ මගී නෞකා කිහිපයක් වෙතට එම රටවල, ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් තුළට ඇතුළු කර, නිරෝධායන නීති වලට අනුකූලව නෞකාව තුළදීම දින 14ක නිරෝධායනයට ලක්කෙරේ. නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව නෞකාව “ජබල් අලි” වරායේ සිට ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කෙරේ.
මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජයේ ශ්‍රී ලංකාවේ තානාපතිතුමා සමඟ සාකච්ඡා වට කිහිපයක්ම ඇවන්ගාඩ් සමාගම් සමූහයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැවැත් වූ අතර, මීට මසකට පමණ පෙර විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී සේනාධිපති මහතා විසින් දැනුවත් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍යය සුඛෝපභෝගී මගී නෞකා වෙන්කර ගැනීම මේ වන විටත් සිදුකර අවසන්ව ඇති අතර, අදාල නෞකා ශ්‍රී ලංකාවේ හම්බන්තොට හෝ කොළඹ වරායන් වෙත ඇතුළු කිරීමට අවශ්‍ය අවසර ලබා ගැනීමිද සිදු කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගතය හමුවේ ඉතා අසරණව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින අප ශ්‍රී ලාංකික ජනතාවට ගුවනින් පැමිණීමේදී වැය වන මුදලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමටත්, මුදල් ගෙවා ගැනීමට අපහසු තත්වයට පත්ව ඇති පිරිස් ඇත්නම් අදාළ රටවල තානාපති වරුන්ගේ නිර්දේශ මත එවන් 2,000 ක පමණ පිරිසක් නොමිලයේම ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ද මෙම ව්‍යාපෘතිය මගින් සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා රජයෙන් අවසර ලද වහාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම බලාපොරොත්තුවෙන් සිටී.
ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි සිරවී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් කිසිදු කරදරයකින් තොරව ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම මෙම මානුෂික මෙහෙයුමේ අරමුණයි.