මා දික්කසාද කතාව බොරුවක්….! හැකි නම් ඔප්පු කරනු…! සැබෑ රූ රැජින මමයි…! අවනඩුව නීතියෙන් බේරගමු…! – පුෂ්පිකා ද සිල්වා..

April 5, 2021 at 1:01 pm | by emanisa.lk

ඊයේ රාත්‍රී පැවැති විවාහක රූ රැජින තරඟයෙන් ජයග්‍රාහිකාව ලෙස නම් කර කිරුළ පැළඳී පුෂ්පිකා ද සිල්වාට විනාඩි කිහිපයකින් කිරුළ අහිමි කළේ ඈ අවිවාහක බව පවසමිනි. මේ ඒ පිළිබඳ ඈ තැබූ සටහනකි.

ආයුබෝවන්!
මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පළවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුළ උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුළ පැළඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.
“අවසාන වශයෙන්, සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැණියගේ කිරුළ උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා
– කිරුල උදුරාගන්නා ලද පළමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස