මාසික ආදායම රු. ලක්ෂෙ දුප්පතාටත් ආණ්ඩුව බදු ගහලා…! “අපි බදු ගෙවන්නේ නෑ” කියන විප්ලවය රටට ඕන..! – හඳුන්නෙත්ති….

October 14, 2022 at 10:18 am | by emanisa.lk

අපි බදු ගෙවන්නේ නෑ කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

අය-වැයක් කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අයවැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේ බදු පනවලා නොවැම්බර් මාසයේ එන අයවැයෙන් අලුත් බදු පනවනවා. නමුත් ආණ්ඩුව ජනතාව මුළා කරන්න ඉතා සුළු බද්දක් පනවන බව කියාවි.

නමුත් ඇත්තටම සිදුවන්නේ මේ බද්ද නිසා වැඩි වුණු භාණ්ඩ මිල මත තවත් බද්දක් පැනවීමයි. ආණ්ඩුව මේ සූදානම් වන්නේ දැවැන්ත බදු පීඩනයක් මහ ජනතාව මත පටවන්නයි. එහි ආරම්භය දැන් පටන්ගෙන තිබෙනවා. ලෝකයේ කිසිදු රටක නැති බදු ක්‍රියාවලියක් ලංකාවේ තිබෙනවා. එකම වර්ගයේ බදු ගණනාවකින් බදු පිට බදු පනවනවා. වරාය ගාස්තු, තීරු බදු, නිෂ්පාදන බදු ඇතුළු විවිධාකාරයේ බදු පනවනවා. මේ නිසා බදු වංචනිකයන්ට අවස්ථා ගණනාවකදී බදු පැහැර හැරීමේ ඉඩකඩ ලබාදී තිබෙනවා.

බදු හොරුන්ට විශාල වශයෙන් ඉඩකඩ සකස් කර දී තිබෙනවා. රජයට ලැබෙන්න ඕන ආදායම් නොගෙවා පැහැර හැරීම් ගැන වැට් බදු වංචා නඩු මේ වන විටත් උසාවියේ පවතිනවා. සුපිරි නිවාස බද්ද, කැසිනෝ බද්ද වගේ අය-වැයෙන් පනවන ලද අයකර ගත හැකි සහ අයකර ගත යුතු අයගෙන් අයකර නොගෙන බදු පැහැර හැරීමට ඉඩදී තිබෙනවා. එහෙම තත්ත්වයක් තුළ බදු පරාසය වැඩි කර ජනතාව මත තව තවත් පීඩනය හෙළා බෙල්ල මිරිකන්න ක්‍රියා කර තිබෙනවා.

ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන හොරු වර්ග ගණනාවක් ඉන්නවා. ජනතාවගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන මොහොතේ සිට බදු පනවනවා නම් ග්‍රාමීය ජනතාව අතරේ සිටින කුඩා තේ වතු හිමියාට පවා බද්දක් වදිනවා. බදු අය කරන පදනම් සීමාව රුපියල් ලක්ෂයක් බව ඉලක්කම්වල තිබුණාට මේ ලක්ෂයේ අද ඇත්ත වටිනාකම විශාල වශයෙන් බිඳ වැටී තිබියදී බදු ගෙවන්නත් සිදුවෙනවා.

දරුවන්ට ආහාර වේල ලබාදෙන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්න බහුතර ජනතාවක් මත අලුත් බදු බර පටවා තිබෙනවා. මේ තත්ත්වය මත අපි බදු ගෙවන්නේ නෑ. කියන ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්න ආණ්ඩුවට බැහැ. මේ වගේ සටන් පාඨයක් අතිශය සාධාරණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *