මාලිමාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ස්වදේශිකත්වය අතුගා දමන්නක්….! – කරූ පරණවිතාන…

August 7, 2023 at 11:29 am | by emanisa.lk

ජාතික ජනබලවේගය පක්ෂයේ රැස්වීමක කතාවක් පවත්වන මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය අනාගත මාලිමා ආණ්ඩුවක අධ්‍යාපන ප්‍රතිපත්තිය පැහැදිලි කරනා අයුරු පෙන්වන වීඩියෝවක් මාගේ මිත්‍රයකු මට එවා තිබුණේ ඒ ගැන මගේ අදහස පැහැදිලි කරන ලිපියක් ලියැන්නැයි ඉල්ලා සිටිමින්ය.

දිග පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. ඇය රටේ අධ්‍යාපනය ප්‍රති-සංවිධානය විය යුතු අකාරය ගැන වැදගත් බොහෝ කරුණු කියන අතර ඒ වැදගත් සියල්ල විනාශ කරන බියකරු යෝජනාවක් ද ප්‍රතිපත්තියක් හැටියට ඉදිරිපත් කරන බව පැවසීම පමණක් ප්‍රමාණවත්ය.

මේ අශාස්ත්‍රීය, අදූරදර්ශී යෝජනාව ඇය ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනයේ භාෂා මාධ්‍ය සම්බන්ධයෙනි. ඒ අනුව මාලිමා ආණ්ඩුවක පාසැල් අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය පළමු වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසිය වන අතර සිංහල හා දෙමළ භාෂා අතිරේක භාෂාවන් ලෙස ඉගැන්වීම යෝජනා කෙරේ.

මෙය එම පක්ෂයේ නිල මතයදැයි මම නොදනිමි. එසේම හිනිදුම සුනිල් සෙනෙවි, ලියනගේ අමරකීර්ති වැනි භාෂාවක් හා සංස්කෘතියක් අතර පවතින අන්තර්සම්බන්ධය විචාරාත්මකව දැකිය හැකි වියතුන්ගේ මැදිහත්වීම ලබනා පක්ෂයක අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ නම් එය මාගේ පුදුමයට කරුණකි.

ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාව මුලික කරගෙන ලබාදීමත් අනෙකුත් භාෂා අතිරේක භාෂා ලෙස ඉගැන්වීමත් ලෝකයේ අධ්‍යාපන විද්‍යාඥයන් විසින් පිළිගත් යුනෙස්කෝ ආදී සංවිධාන විසින් තහවුරු කරනු ලැබු ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් වැදගත් අධ්‍යාපන භාෂා මාධ්‍ය ප්‍රතිපත්තියකි.

දරුවාට මව් භාෂාවෙන් මුලික අධ්‍යාපනය ලබා දිය යුත්තේ අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ ලබා දෙන්නා මෙන් නොව මව් කිරි ලබා දෙන්නා සේ වැදගත්කමක් හා ගෞරවයක් ලබාදෙමිනි. එය හුදෙක් එක් එක් දරුවන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නොව සංස්කෘතියක පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයකි.

සිංහල දෙමළ සංස්කෘතීන් දෙකම මේ පොළවෙන් පරම්පරා තුනක් ඇතුළත අතුගා දැමීමට අවශ්‍ය කෙනෙකුට මිස, වගකීම් සහගත දේශපාලන පක්ෂයකට මෙවැනි සංස්කෘතික හායනයකට තුඩු දෙන යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකිය.

මෙවැනි යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාම ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධන බලකායක්ද සූදානම් කරද්දී එයට එරෙහිව පළමු ලිපිය ලියනු ලැබුවේ මවිසිනි. ඒ ප්‍රතිපත්තිය සමාන වුයේ හරියටම එම ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ‘පොහොර මාරු’ ප්‍රතිපත්තියට බවද අපි පෙන්වා දුන්නෙමු.

මෙරට අධ්‍යාපනයේ ඉංගීසි ඉගැන්වීම පිළිබඳ ගැටලුවක් ඇත. ඉංග්‍රීසි පමණක් නොව මව් භාෂා ඉගැන්වීමද විද්‍යාත්මක මූල ධර්ම මත සිදු නොවන බව මාගේ හැඟීමය. අප සාදා ගත යුත්තේ එම වැරදිය. මහාචාර්ය වසන්තා මහත්මිය සඳහන් කරන ජපානය වැනි රටවල්, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට කෙතරම් තැනක් දුන්නද ජපන් සංස්කෘතියේ පදනමක් වන ජපන් බස ප්‍රාථමික අධ්‍යාපනයේ අතිරේක බසක් බවට පත් කර නැති බව සඳහන් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය වසන්තා යෝජනා කරන අනෙක් වැදගත් කරුණු ක්‍රියාත්මක කිරීමට මුලික කොන්දේසියක් වන ස්වදේශික ප්‍රජාවන්ගේ සංස්කෘතික යහ පැවැත්ම ඇගේ මේ භාෂා යෝජනාව මගින් නිෂ්ප්‍රභා කරන බැවින් මෙය ‘ගෝ්‍ඨාභය-පොහොර මාරු ප්‍රතිපත්තිය’ මෙන්ම බැහැර කළ යුත්තකි.

– Karu Paranawithana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස