මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මහා බොරුවක්….! දේශපාලනික අවශ්‍යතා මත ගෙනා යෝජනාව පරදවන්න සහාය දෙන්න….! – විදේශ ඇමැති මානව හිමිකම් කමිටුව අමතමින් සිදුකළ දේශනය මෙන්න..

February 24, 2021 at 7:57 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත්තේ මින්පෙර කිසිදා නොවූ ආකාරයේ අසත්‍ය ප්‍රචාර මාලාවක් පදනම් කරගෙන බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

එම නිසා දේශපාලනික අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

විදේශ ඇමැතිවරයා ඒ මේ පැවසුවේ ඊයේ (23) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. ඇමැතිවරයා එහි දී මෙසේද කීය.

මා ඔබ අමතන මේ අවස්ථාවේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමාසාරිස් කාර්යාලය සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකළ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සමග ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත.

දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝදාර ත්‍රිවිධ හමුදා දෙදාහස් නවයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ලෝකයේ කෲරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත් ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙනය.

ලෝක නායකයන් දෙදෙනකු ඝාතනය කළ එනම් ශ්‍රී ලංකාවේ ධුරය දරමින් සිටි ජනාධිපතිවරයකු සහ දේශසීමාවෙන් ඔබ්බට සිය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රටවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය.

එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණුවලින් සමන්විත යෝජනාවක් ගෙන ඒමට එක්ව කටයුතු කළ අතර අද දවසේ පවා ශ්‍රී ලංකාව සමග සිටින මිත්‍රශීලි රටවල උපකාරයෙන් එය පරාජයට පත් කරන ලදී. හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදැරි කරගත් තවත් යෝජනා මේ කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ඒ හැම අවස්ථාවකදීම, ඒවායේ ඇති ක්‍රියාපටිපාටි පිළිබඳ අයෝග්‍යතාවන් මෙන්ම එවැනි ක්‍රියාවලින් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍යයන්ට බලපාන භයානක පූර්වාදර්ශයක් ඇති විය හැකි ආකාරයත් ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේය.

දෙදාස් දහනවය නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රී ලංකාවේ ජනතාව ලබාදුන් අති මහත් ජනවරම පදනම් කරගෙන මේ කවුන්සිලයේ හතළිස් තුනවැනි සැසියේදී ශ්‍රී ලංකාව යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රාකශයට පත් කළෙමි. මේ කවුන්සිලයද ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම එම අවස්ථාවේදී ප්‍රකාශ කළෙමි.

පවත්නා යාන්ත්‍රණයන් දිගටම පවත්වාගෙන යෑම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම දරනීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන්ම විස්තරාත්මක යාවත්කාල තොරතුරුද දෙදහස්විස්ස දෙසැම්බර් මාසයේදී මෙන්ම දෙදහස් විසිඑක ජනවාරි මාසයේදී ද අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සපයා ඇත්තෙමු.

පසුගිය වසර පුරාම කොවිඩ් දහනවය නිසා ඇති වූ බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී පවා මේ පියවර ගෙන ඇත. මේ අභියෝග මධ්‍යයේ වුවද දෙදහස් විස්ස අගෝස්තු මාසයේදී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයන්ගෙන් එකක් වන අප රටෙහි අප විසින් තුනෙන් දෙකක බලයක් සහිත රජයක් තෝරා පත්කර ගන්නා ලදී.

මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමග සහයෝගීත්වය පිළිබඳ හැඟීම තිබියදී වුවද ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන කොටස් මේ මානව හිමිකම් වාර්තාව පදනම් කරගෙන තනි රටක් ඉලක්ක කරගත් තවත් යෝජනාවක් සභාගත කිරීමට අදහස් කිරීම කනගාටුදායකය. ආත්ම ගරුත්වය ඇති ඕනෑම ස්වෛරී රටක අවශ්‍යයෙන්ම අභ්‍යන්තරික වන කරුණු හා පාලනය පිළිබඳ බොහෝ කාරනා ඇතුළත් කරමින් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මේ වාර්තාව, සාධාරණීකරණය කළ නොහැකි පරිදි සිය විෂය පථය මෙන්ම පැවරී ඇති කාර්යයද තවදුරටත් පුළුල් කර ඇත.

මේ සභාවේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් මේ ව්‍යාපාරය මේ කවුන්සිලය ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්ම ම උල්ලංඝනය කරන හුදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ස්වයං විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සිලයේ සාමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ට ද මම භාර කරමි. විශේෂයෙන්ම විදේශයන්හි සිදු කරන ලද යුදමය මෙහෙයුම්වලදී නඩු පැවරීමෙන් සිය හමුදා භටයන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් නීති සම්පාදනය කරනු ලබන අවස්ථාවකදී ඔවුන්ගේ අභිප්‍රායන්ගේ දෙබිඩි හා කුහක ස්වභාවය මෙයින් පෙනේ. ත්‍රස්තවාදයට එරෙහි අරගලයට මැදිවී සිටින රටවල චිත්ත ධෛර්යය සැලකිය යුතු ආකාරයෙන් නැති කිරීම හැර වෙනත් ප්‍රතිඵලයක් මින් ඇති විය නොහැකිය.

මෙම කවුන්සිලය තුලාව සමබරව දැරිය යුතුය. අනුන්ගේ ප්‍රවාද, ඒකපාර්ශ්වික ක්‍රියා හෝ එක් කෝණයකින් පමණක් බලන සැක කටයුතු මූලාශ්‍ර අනුව කටයුතු නොකර සිය මෙහෙයුම් මූලධර්මවලට එය අනුකූල විය යුතුය. මේ කවුන්සිලය සමග ඇති අපේ අඛණ්ඩ සහයෝගීතාව හා සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන්ම පුළුල් ප්‍රචාරය වෙමින් පවතින බාහිර වශයෙන් මෙහෙයවන උපදෙස් අවධාරණයෙන් ගැනීම තුළ විවිධාකාර අභියෝගය ඇති විය හැකිය.

මෙම කවුන්සිලය ද දන්නා පරිදි මේ කොවිඩ් දහනවය ලෝක ව්‍යාප්ත වසංගතයෙන් මිදීමටත්, පීඩාවට පත් ආර්ථිකයන් නගා සිටුවීමටත් අප දරන ප්‍රයත්නයන්හිදී අප හැම එක්සත්ව සිටිය යුතු ලෝකයටම තීරණාත්මක වූ අවස්ථාවකි. අපේ අඛණ්ඩ සහභාගිත්වය හා සහයෝගීතාව පිළිබඳ යහපත් ගුණාංගය සැලකිල්ලට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවට එරෙහි කවර හෝ යෝජනාවක් වුව ප්‍රතික්ෂේප කරමින් අපට සහාය ලබාදෙන ලෙසත්, මම මේ කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමි.අපේ විශ්වාසය වන්නේ මේ කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් අපතේ ගොස් ඇති බවත්, එය දක්ෂිණ ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් අධෛර්යමත් කරන පණිවුඩයක් එමගින් කියැවෙන බවත්ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස