ආණ්ඩුව රටට එරෙහිව කුමන්ත්‍රණවල සම අනුග්‍රහය ගත් යුගය ඉවරයි…! මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා….! – ගම්මන්පිල….

February 3, 2021 at 3:31 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ බව දැනටමත් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැනුම් දී ඇති බව ද ඇමතිවරයා අනාවරණය කළේ ය.

අද (03) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති ගම්මන්පිල මේ බව සඳහන් කෙළේය.

මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ විෂය පථයට අදාළ නොවන කරුණු ඇතුළත් කරමින් බව පෙන්වා දෙන ඇමැති ගම්මන්පිල පවසන්නේ පිටු 17 1/2 කින් සමන්විත වාර්තාවේ පිටු 2 1/2 ක් පමණක් ඇයගේ විෂය පථයට අදාල කරුණුවලින් සමන්විත බව ය. සෙසු සියලු කරුණු වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා ද්වේශ සහගතව ඇතුළත් කළ කරුණු බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ඇය මෙම වාර්තාව මගින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන ඇමතිවරයා එම කරුණු මත පදනම්ව වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පවසයි.

මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දී ඇති ස්ථාවරය ප්‍රසිද්ධ කර නොමැති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාල කරුණු පැහැදිලි කරනු ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස