මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගන්න පෙරට එන්න..!

December 23, 2022 at 12:15 pm | by emanisa.lk

මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට සමස්ත සමාජයම පෙරට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2022.12.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගනිමු

පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය පිලිබඳ මාධ්‍ය ඉදිරියේ දිග හැරෙන කතාව අපි බෞද්ධයින් ලෙස බලාගෙන ඉන්නේ ඉමහත් වේදනාවකින්. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස පැවසුවත් ඒ විශ්ව විද්‍යාලයේ නවක වදය ලෙස ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අරක්කු බලහත්කාරයෙන් පොවන එක මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් පොවන එක ලිංගික හිරිහැර කරන එක තිත්ත ඇත්තක්. ඒ නවක වදයන්ට ගොදුරු වුණු භික්ෂුන් වහන්සේලා මේ ගැන අපව දැනුම්වත් කලා. ඒ නවක වදයන් ලෙස කරණ අමාණුෂික ක්‍රියාවන් ගැන කලකිරිලා උපාධි අත්හැරපු භික්ෂුන් වහන්සේලා අපව දැනුම්වත් කලා. මේ පිලිබඳ කතා කරන අයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරලා දැඩි මඩ ප්‍රහාරයක් එල්ල කරන නිසා බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ. නමුත් ශාසනයේ නාමයෙන් අපි මේ ගැන සමාජය දැනුම්වත් කරමින් මෙය නවත්වා ගැනීම සඳහා පෙරට පැමිණිය යුතු කාලය පැමිණ තියෙනවා. අද සිට මටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරාවි. අපි කොටි ත්‍රස්තවාදය එක්ක හැප්පුනේ මෙවැනිම අවලාද අපවාද ලබමින්. ඒ නිසා ශාසනය වෙනුවෙන් ඒ මඩ ප්‍රරහාරවලට මුහුණදීමට මම සූදානම්.

පන්සල්වල නායක හාමුදුරුවරු දායකයින්ගෙන් මුදල් එකතු කරලා දෙමව්පියන් ඒකට දායක කරගෙන මේ තරුණ භික්ෂුන් වහන්සේලා පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලයට එවන්නේ බුදු දහම ගැන තම දැනුම පුළුල් කරගෙන ශාසනයට සේවයක් කරන්න මිස ශාසන භක්ෂක කාර්යභාරයක් කරන්න නොවේ. භික්ෂුන් වහන්සේලා පෘතග්ජනයින් වශයෙන් මතට යොමු වෙන්න පුළුවන්. ඒක අනුමත කරන්න බැරි වුණත් විය හැකි දෙයක්. අනුකම්පාවෙන් බැලිය යුතු දෙයක්. නමුත් තරුණ භික්ෂුවකට මත්පැන් මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් ලබා දීලා ඒකට ඇබ්බැහි කිරීමට කටයුතු කරනව නම් ඒක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවත් කරන්නේ නැති අමානුෂික වැඩක්. ඒ වගේම තමන් නාඳුනන අහිංසක තරුණ භික්ෂුවකට අමානුෂික ලිංගික වද හිංසා කිරීමට භික්ෂුවකට නොවේ හොඳ සිහියෙන් ඉන්නා ගිහියෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නොවේ. අද මේ විශ්ව විද්‍යාලවල භික්ෂු සංගම්වල බලය අල්ලා ගෙන ඉන්නේ සතුරාටත් මෛත්‍රි කරන නොපෙනෙන සතාටත් කරුණාව දක්වන බුද්ධ පුත්‍රයින් නොවේ. “ප්‍රතිගාමින් භංග වේවා” කියන වෛරී මානසිකත්වයකින් ඉන්නා මාක්ස්පුත්‍රයින්. ඒ නිසා මේ මාක්ස් පුත්‍රයන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන සැබෑ බුද්ධ පුත්‍රයන් බේරා ගැනීම ශාසනයට ආදරය කරන සියලු දෙනාගේම යුතුකමක් කියන එක අප සිහිපත් කරනවා.
අද බුදුදහම අතහැරලා මාක්ස්වාදය වැළඳ ගන්නා මේ තරුණ භික්ෂුන් වහන්සේලා නොදන්නා කරුණ වෙන්නේ බුදු දහම එහි පවතින පරම සත්‍යය නිසාම වසර 2,600ක් නොනැසි පැවතුනත් මාක්ස්වාදය පැවතුනේ වසර 200ක් විතරයි කියන තිත්ත ඇත්ත. මේ නිසා විශ්වවිද්‍යාල වල බලය අත්පත් කරගෙන සිටින මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට පෙරට ඒම මේ රටේ ශාසනයට ආදරය කරන සියළුම දෙනාගේ යුතුකමක්. සමස්ත සමාජයම ඒ සඳහා පෙරට පැමිණිය යුතු කාලය උදාවී තිබෙනවා.

පැරණි වමේ නායකින් එදා ආචාර්ය වල්පොල රාහුල නාහිමියන් උඩකැන්දල සරණංකර නාහිමියන් වැනි වියත් භික්ෂුන් වහන්සේලා වමේ ව්‍යාපාරයේ නායකයින් බවට පත් කර ගනිමින් බුදු දහම සමග සහජීවනයෙන් වාමාංශික ව්‍යාපාරය පවත්වාගෙන ගියා කියන එක ඒ වාමාංශික පක්ෂ වලට ගෞරවයක් වශයෙන් සිහිපත් කරන්න ඕනෑ.

ආණ්ඩුව මැතිවරණයට බය වෙන්න හේතු තුනක්

මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම ජනවාරි 9ට පෙර පළාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට දක්වන උනන්දුවම ආණ්ඩුව මැතිවරණය නොපැවැත්වීමට දක්වනවා. ඊට හේතු තුනක් බලපාලා තිබෙනවා.
ආණ්ඩුව වැඩි කරපු සෘජු සහ වක්‍ර බදු ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 1 දා ඉඳන්. බද්දක් මිල වැඩි වීමක් ඇඟට දැනෙන්නේ ඒක වැඩි කරපු කාලයේ. ඊට පස්සේ ඒකට හුරු වෙනවා. ඒ නිසා බද්ද වැඩි කරපු අළුත ජනතාව කෝපයෙන් සිටින අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ආණ්ඩුවට මාරාන්තිකයි.
දෙවැනි කාරණය වන්නේ විදුලි කප්පාදුව. මාර්තු මාසය වන විට පැය 8 ඉක්මවා විදුලිය කැපීමට සිදුවන බවට මුලින්ම කිව්වේ අපි. ජනතාව කළුවරේ පොතකින් පවන් සලමින් ඉන්න අතරේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කියා අපේක්ෂකයෙකු ගෙදරට ගොඩ වුණොත් ඡන්දය වෙනුවට මෝල් ගස් පහරක් වුණත් ලැබෙන්න ඉඩ තිබෙනවා.

තුන්වන කාරණය තමයි අයිඑම්එෆ් ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් එපිට වීම. අයිඑම්එෆ් ණය පහසුකම ලැබෙන්නේ මාර්තු වලින් පස්සේ කියලා මුලින්ම කිව්වේ අපි. ණය ප්‍රතිව්‍යුහකරණය කළ වහාම අයිඑම්එෆ් ණය වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක් සහ බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන දෙකක් රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සල්ලි වලින් තමයි ඉන්ධන ඖෂධ ගෙනැල්ලා ඒවායේ හිඟය නැති කරන්න බලාපොරොත්තු වුණේ. ඒ සල්ලි වලින් තමයි රුපියල ස්ථායි කරලා බඩු මිල අඩු කරන්න බලාපොරොත්තු වුණේ. එහෙම කරලා වීරයන් වගේ මැතිවරණට යන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ. මේ කිසිවක් කරගන්න බැරුව, විදුලි කප්පාදුවක් මැද ඖෂධ හිඟය මැද, ඉහළ යන බඩු මිල මැද, වැඩි වන බදු බර මත මැතිවරණයකට මුහුණ දීමට සිදුවුවහොත් එය ආණ්ඩුවට මාරාන්තික බව ආණ්ඩුව දන්නවා. නමුත් ආණ්ඩුව මොන තරම් උත්සාහ දැරුවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට ආණ්ඩුවට අප ඉඩ තබන්නේ නෑ කියන පොරොන්දුව අප ජනතාවට ලබා දෙනවා.

ප්‍රශ්නය
මැතිවරණය සඳහා ඔබ තුමන්ලාගේ සූදානම කොහොමද ?
පිළිතුර
අප මේ වන විට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමග පුළුල්තම දේශපාලන සන්ධානයක් හිටුවීමට සාකච්ඡා කරනවා. එම සන්ධානයේ අරමුණ වන්නේ පළාත් පාලන ආයතන වල කොහොමහරි බලය ලබා ගැනීම නොවෙයි. අපට රට ගොඩගන්න වැඩ පිළිවෙළක් තිබෙනවා, අපට රට ගොඩගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය අත්දැකීම් වෘත්තීය සුදුසුකම් තිබෙන නිපුණතාවය තිබෙන නායකයන් ඉන්නවා, ජනතා ප්‍රශ්නවලට සංවේදී දේශපාලකයන් ඉන්නවා කියන එක ජනතාවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් වෙනවා. ඒ නිසා හුදු පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීමේ සන්ධානයක් ලෙස නොව මේ අර්බූදයෙන් රට ගොඩ ගැනීම සඳහා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැකි සන්ධානයක් වෙනුවෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. එය සාකච්ඡා අතිශයින්ම සාර්ථකයි කියලා කියන්න කැමති. මේ හැදෙන සන්ධානය දැක්කහම ආණ්ඩුව වියරු වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ සන්ධානය බිහි වුනාම මාධ්‍ය හමුවක් තියලා අප කියන්නම්.

ප්‍රශ්නය
විදුලිය කැපීම දිගු වෙන්නේ නැති බව අමාත්‍යවරයාගේ පැත්තෙන් කියවෙනවා. දිගු විදුලි කැපීමක් ගැන තවත් පැත්තකින් කියවෙනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද ?
පිළිතුර
මා විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර නැහැ. නමුත් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති පුද්ගලයෙක් විදියට මා තමා මුලින්ම දැනුවත් කලේ මාර්තු මාසයේ විදුලි කප්පාදුවක් එන බවට. මීට කලිනුත් ජනවාරි මස 10 වෙනිදා ජනාධිපතිතුමා ඇතුළු අදාළ නායකයින්ටත්, ජනවාරි මාසයේ 22 වෙනිදා මේ රටටත් මාර්තු මාසයේ පැය 8 ඉක්මවූ විදුලි කප්පාදුවක් එනවා කියලා මම කිව්වා.
අවාසනාවට නායකයෝ එය බැහැර කළා. බැහැර කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කිව්ව දේ නාහපු ජනාධිපති තුමාගේ සිට මුදල් ඇමති දක්වා සියලු දෙනාට තනතුරු අත්හැරලා යන්න වුණා. අපේ පක්ෂ කාර්යාලයේ බැටරිය සහිත සූර්ය විදුලි බල පද්ධතියක් පිහිටුවා තිබෙනවා. ඒ නිසා විදුලි කැපීමේ ගැටළුවක් නැහැ. මේ දෙය කරන්න පුළුවන් විශාල පිරිසක් රටේ ඉන්නවා. නමුත් සූර්ය විදුලි බලය ගැන කතා කරපු ගමන් විදුබල මණ්ඩලය කියන්නේ අපේ විදුලිබල පද්ධතිය නවීකරණය කරන්න ඕනෑ මේ ධාරිතාවය විදුලිබල පද්ධතිය ලබාගන්න කියලා. ඒකට තියනවා විසඳුමක්. ඒ තමයි කර්මාන්ත ශාලා හෝටල් කාර්යාල වලට මධ්‍යම පාන්තික නිවාස වලට බැටරිය සහිත සූර්ය විදුලි බල පද්ධතියක් සපයා ගන්න අවශ්‍ය මුදල් පොලී රහිත ණයක් ලෙස දෙන්න. එවිට ඔවුන්ට විදුලිය නිෂ්පාදනය කරගෙන ඔවුන්ට ම එය ගබඩා කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එවිට ප්‍රධාන විදුලි පාරිභෝගිකයන් ස්වයංපෝෂිත වුනොත් ඉතිරි විදුලි පාරිභෝගිකයන්ට අඩු මිලට විදුලිය ලබා දෙන්න හැකියාව තියෙනවා. සරල විසඳුම් පවා ක්‍රියාත්මක නොකරන්නේ ඉන්ධන මාෆියාවක් නිසාද විදුලි මාෆියාවක් නිසා ද යන්න පැහැදිලි කළ හැක්කේ විදුලි බල අමාත්‍යාංශය ට පමණයි.

ප්‍රශ්නය‍
ඇතැම් ස්වාමීන්වහන්සේලා ගංජා බීම සාමාන්‍ය දෙයක් වගේ මාධ්‍ය ඉස්සර ඇවිත් කතා කරනවා. ඔබතුමා මේක දකින්නේ කොහොමද ?
පිළිතුර
පස් වන සිල්පදය අදාළ වන්නේ ගිහියන්ට පමණක් නොවේ. පංචශීලය භික්ෂුන් වහණ්සේලාටත් අදාලයි. විනය ශික්ෂාපද 227 ක් තියෙනවා. ඊට අමතරව කෝටියක් සංවර සීලය භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා. ගන්ජා භාවිතය යනු භික්ෂූන් වහන්සේලා අතර නොව සාමාන්‍ය ජනතාව අතර වත් සාමාන්‍ය දෙයක් නොවේ. කවුරු හෝ එයට ඇබ්බැහි වී තියෙනව නම් අපි ඔහුට අනුකම්පා කළ යුතුයි පුනරුත්ථාපනය වීමට උදවු කළ යුතුයි. නමුත් කවුරුන් හෝ බලහත්කාරයෙන් ගංජා මත්පැන් පොවනවා නම් අන්න ඒ අය සමාජයේ හතුරෙක්. ශාසනයේ විතරක් නොව සමස්ථ සමාජයේම හතුරෙක්. හතුරන්ට බයේ කටවල් වහගෙන ඉන්නැතුව අපි මේක හෙළි කළ යුතුයි. අපි මේක සමාජ සංවාදයට ලක්කල යුතුයි. වසර දෙදහස් තුන්සියයක් මේ රටේ පැවති බුද්ධ ශාසනය ඊළඟ පරම්පරාවට දායක කරන්න නම් භික්ෂු ශාසනය ඇතුලේ ශාසනය විනාශ කිරීමේ අරමුණින් සිවුරු පොරවාගෙන සිටින පිරිස් හෙළි කළ යුතුයි. ගන්ජා භාවිතය සාමාන්‍ය දෙයක් කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු භික්ෂුවක් වෙන්න බැහැ.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ගම්පහ දිසා සංවිධායක අංජන උදාර, බියගම ආසන සංවිධායක දිනේෂ් සලින් ද යන මහත්වරුන්ද සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස