‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මග’ මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙරේදා (31) පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට පැවැත්වූ සංවාදමය කථිකාවේ ප්‍රශ්න වටය ආරම්භ කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් පරිදි පෙරේදා පස්වරුවේ පැවැති මෙම වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන්ට, මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගි වීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ද දැනුම්වත් කර තිබිණි.
මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහ බැංකු අධිපතිවරයාගෙන් කිසියම් විමසීමක් කිරීමට යෑමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට අවස්ථාව නොදී බාධා කර ඇතැයි වාර්තා වේ. එසේ ම මහ බැංකු අධිපතිවරයා සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් හමුවේ එම වැඩමුළුවට සම්බන්ධ වී සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්ව ගිය බව දැන ගන්නට තිබේ.
අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකාව බංකොලොත්බව ප්‍රකාශයට පත් කළ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත මෙහි දී දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.