ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු මෙන් ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති වන ජගත් වැල්ලවත්ත තබා ඇති ෆේස්බුක් සටහනකි.
බොලේ ගම්මං පිලේ
තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පක්ෂයේ මතය ජනමාධ්‍යයට නිකුත් කලේ ඉකුත් සෙනසුරාදාය. එම ලිපිය නිකුත් කරන විටත් එකී තීන්දුව ගනු ලැබුවේ කවර කමිටුවක් විසින්ද ? එම යෝජනාව ගෙන ආවේ කවුරුන්ද? එහි අපේක්ෂාව කුමක්ද යනාදී සියල්ල සාගර කාරියවසම් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොදැන සිටියා නොවේ.
සියල්ල හොඳින්ම දැන සිටියේය. අනෙකුත් පාර්ශව “මේ ගැහුවේ මට නොවේ .ජනාධිපතිතුමාටය, අගමැතිතුමාටය “ කියන බවද නොදැන සිටියාද නොවේ.
සාගරගේ ලිපියේ හරය කුමකිද? මෙවර අතිගරු ජනාධිපතිවරයා විසින් සෑම ඇමතිවරයෙකුටම අමාත්‍යාංශ බාර දෙනවිට ඔහු විසින් ඉටුකළ යුතු සෞභාග්‍යයේ දැක්මේ ඇතුලත් කාර්යභාරයද ලිඛිතව දැනුම් දුන්නේය. එකී ලිපියෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඛණිජ තෙල් ඇමතිවරයා මේ වන විට ඉන් ඉටුකර ඇති කොටස කුමක්ද? යන්නයි. අවසන් අදියරේ පැවතිය යුතු කාර්යයන් ගෙන් සමහරක් තාමත් පවතින්නේ ආරම්භක අවධියේය. නැතිනම් ආරමිභ කිරීමට සිතාවත් නැත. අනෙක් අමාත්‍යංශ ද මීට වඩා වෙනස් වන්නේ ඊට වඩා මදක් අඩුවෙන් වුවද මෙම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය පොදුජනයාට මෙන්ම රටේ ආර්ථිකයේ සියලු අංශ වෙත ඉතා තදින් දැනෙන එකකි.
පොදු ජනතාව කොරෝනා නිසා මරබියෙන් පසුවන, ආර්ථිකමය වශයෙන් කබලෙන් ලිපට වැටී සිටින මොහොතක පොදුජනතාව පත්වන අපහසුතාව ගැන ජාතික සමගියට මුල්තැන දෙන ප්‍රතිපත්තියේ සිටින එක්සත් ජාතික පක්ෂයටවත් එහි අංකූරය වන සමගි ජන බලවේගයටවත් කැක්කුමක් නැතිවිය හැකිය. නිදහස ගැන සිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් ජාතික නිදහස ගැන සිතන ජාතික නිදහස් පෙරමුණටවත් හෙළයේ පිවිතුර නිදහස ගැන සිතන පිවිතුරු හෙළ උරුමයටවත් කැක්කුමක් නැතිවිය හැකිය. එහෙත් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොදුජනතාව කේන්ද්‍රීය කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එසේ බලා ඉන්නට නොහැක. ආණ්ඩුව කාගේ වුනත් එහි නායකකාරකාදීන් කවුරුන් වුනත් පක්ෂය පෙනී සිටින්නේ පොදුජනතාව වෙනුවෙනි. තෙල් මිල ප්‍රශ්නයේදී පමණක් නොව ඉදිරියටත් එය එසේමය.
සාගර කාරියවසම් පක්ෂය වෙනුවෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු නොදී ගම්මංපිල කරන්නේ බැසිල් රාජපක්ෂ දෙසට ඇගිල්ල දිගුකරගෙන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ දෙපරන්ද අස්සේ හැංගෙන්න හදන එකය. “මේ හාදයා කොතරම් අමන මරි මෝඩයෙක්දැයි” රාජපක්ෂවරු ගැන දන්නා පොඩි ළමයෙක් වුවද නොසිතන්නේ නම් පුදුමයකි. ඉහත රාජපක්ෂ ත්‍රිත්වය තුළ ඇති සහෝදර බැඳීම නොදන්නා කෙනක් සිටිත් නම් 1971 මහින්ද රාජපක්ෂ මුහුණ දුන් පළමු මැතිවරණයේ සිට 2020 දී මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් අගමැතිවරයා බවට පත්වන මැතිවරණ ඉතිහාසය දෙස සියුම්ව බැලිය යුතුය. රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඔවුන් භේදබින්න කළ යුතු යැයි සිතූ පලමු මිනිසා විමල්වත් උදයවත් නොවේ. එසේ සිතූ බොහෝ දෙනා එවැන්නක් සිතූ සැනින්ම දේශපාලනයෙන් අතුගෑවී ගියේය.
විමල් – උදය එකතුව රාජක්ෂවරු දේශපාලනයෙන් අතුගා දමා තමන් රජවිය යුතුයැයි සිතන්නට පටන් ගත්තේ මෛත්‍රී ජනාධිපති වූ දා සිටමය. ඔවුන් මහින්දට යෝජනා කළේ ගෞරවනීයව විශ්‍රාම ගන්නා ලෙසය. එවිට මෛත්‍රී අති විශේෂ ගරු දේශපාලන තනතුරක් නිර්මාණය කරදීමට පොරොන්දු වන බවද කීවේය. මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය. ඒ දේශපාලනයෙන් විශ්‍රාම ගත් මහින්ද වේදිකාවේ තබාගෙන ඒ ජනප්‍රියතාවෙන් තමන්ට රජ වෙන්නටය. එහෙත් නොසිතූ ලෙස අවශ්‍යම මොහොතේ රාජපක්ෂ ත්‍රිත්වය ක්‍රියාත්මක විය. ඔවුන් තැනූ වේදිකාවේ රාජපක්ෂවරු පිලුං ගහන්නට පටන් ගත්තේය. ඊට නායකත්වය දුනේනේ බැසිල්ය. බැසිල් රාජපක්ෂ ඒ ගමන නතර කලේ මහින්ද අයියාට අහිමි කරන්නට ගිය කීර්තියේ ඔටුන්න නැවතත් ඔහු අතට දෙන අතරම සිය අනෙක් සොයුරු රාජපක්ෂ පවුලේ දෙවැනි ජනාධිපතිවරයා ද කරමිනි.
සාගරගේ ලියුම උස්සාගෙන එහෙව් සහෝදරයින් දෙදෙනෙකු ළඟට ගොස් “බැසිල් මේ ගහන්නෙ මට නෙවෙයි. ඔය ගොල්ලන්ට”යැයි උදය කියන තරමට අඥාන වූ විට සාගර කාරියවසම්ගේ කට කොනට නැගෙන සිනහව මට මැවී පෙනේ. උදය ඔහොම නෙවෙයි ඔළුව බිම තියාගෙන ඉල්ලා අස්වෙයන් යැයි කීවත් එසේ නොකරන බව සාගර නොදනීද? අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කලහොත් උදයගේ ඇමතිකම බිමය. එවිට බැසිල් ගාවට දිවගොස් “මහින්දයි ගෝඨයි මාව එලවනෝ” කියන්නත් මේ නොදරුවාට බැරිකමක් නැත.
ආදියේ පටන් දෙඹර කඩන්නට ඇති හොඳම ක්‍රමය දෙඹරෙට ගලක් ගහන එකය. එවිට කෝපයෙන් ඉහවහා යන දෙඹරුන් වදෙන් එළියට පැන ගල ගැසුවේ කවුදැයි නොදන්නා හෙයින් වටේ පිටේ සිටින හැම එකාටම ගැනගෙන ඇනගෙන යති. ඒ බව දන්නා පළපුරුදු දෙඹර කඩන්නෝ වදයට යටින් ගිනි ගොඩක් ගසති. සාගර ගිනිගොඩක් වෙනුවට බට කැලේටම ගිනිතබා තිබේ . ඒ සමහර කපටි දෙඹරුන් ගිහිගොඩ දැක ඉන් ඈතට යා හැකි බැවිනි . එවැනි 8 දෙනෙක් දැනටමත් එළියට බැස තිබේ . ඊටත් වඩා රජ කපටින් ගිනි නිවී යන තුරු සිට නැවත වදය බදින අරමුණින් තවමත් වදය තුළම සැඟවී සිටිය හැකිය. එහෙත් මෙවර නම් මේ දෙඹර කඩන්නා වදය විනාශ වී යන තෙක්ම ගල් ගසනු ඇත.