මහා දුර්භික්ෂයක් අත ළඟ එනවා….! කන්න නැතිව මැරෙන්න වෙයි..! භේද අතහැර වගා සංග්‍රාමයක් අරඹමු…! – අගමැති…

May 20, 2022 at 9:08 am | by emanisa.lk

ඉදිරියේ දී මෙරටට මුහුණ දීමට සිදුවන මහා ආහාර හිඟය වළකා ගැනීමට වගා නොකළ ඉඩම්වල වගා කරමින් විශේෂ වගා වැඩ සටහන් ආරම්භ කිරීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු විය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් එම දිස්ත්‍රික්කයේ ජනතාවට මේ වන විට මුහුණදීමට සිදුව ඇති අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කළ අවස්ථාවේදීය.

“දෛනික ආහාර ගැන ප්‍රශ්නය කොළඹට විතරක් එන එකක් නොවේ ලෝකෙට ම එන එකක්. ලෝක ආහාර බැංකුව ඇමරිකන් ඩොලර් බිලියන 30ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජෙනට් ජැනන් කියලා තිබෙනවා ලොකුම ප්‍රශ්නයට ඒ අය මුහුණ දෙන්න සැලසුම් කරනවා, ලෝකයටම මේ අවුරුද්දේ ආහාර හිඟයක් එනවා කියලා.

ඔහු විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා ඒකේ එක රටක් තමයි ශ්‍රී ලංකාව, අනෙක් රට තමයි ඇෆ්ගනිස්ථානය කියලා. ඒ නිසා අපට වගා කරන්න වෙයි. අවශ්‍ය ආහාර වගා කරන්න. කොළඹ වගේම නුවර වුණත් වගා කරන්න වෙනවා. ඒ නිසා අපි වෙනම අයවැයක් ගෙනල්ලා සහන දෙන්න යනවා.

අපි ඔක්කොම එකතුවෙලා මේ ආහාර හිඟය නවත්වන්න ක්‍රියා කරමු. කොළඹ මන්ත්‍රීවරු සියලු දෙනාම එකතු වෙලා කොළඹ ආහාර හිඟය වළක්වන්න හිස් ඉඩම්වල වගා කිරීම ගැන ව්‍යාපෘතියක් හදන්න. ඒ ගැන අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *