මම හඬ නැඟූවේ වේලක් ඇර වේලක් කන අහිංසක ජනතාව වෙනුවෙන්! ගැටළුව දිහා තැලෙන පෑගෙන ජනතාව පැත්තෙන් බලන්න! – ඇමැති විමලවීර

November 27, 2020 at 4:57 pm | by emanisa.lk

වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

2020-11-25 දින ගරු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා සමඟ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ, ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් විසඳීම සඳහා, මැදිහත් වූ අවස්ථාවේ, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන්, මෙසේ අදහස් පල කරමි.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ, වෙක්ටකාඩු අමුණෙන් පෝෂණය වන, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තඩාල, සුංගාවිල, ඕනෑගම, වෙහෙරගොඩැල්ල යන වසම්වල පවුල් 20000 ගොවි ජනතාවක් ජීවත් වේ.
ඔවුන්ගේ ඉල්ලීම වූයේ, මෙම වෙක්ටකාඩු අමුණෙන් පෝෂණය වන භූමියේ, වසරකට එක් කන්නයක් හෝ කුඹුරු වගා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත්, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන, සත්ත්ව පාලනය ඔස්‌සේ, ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල, යම් ප්‍රදේශයක් හෝ ගව පට්ටි සඳහා තණකොළ කෑමට, නිදහස් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

වනජීවී හා වන සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගැනීම මාගේ විෂය පථයට අදාල වගකීමක් වූවත්, අහිංසක දුප්පත් පවුල් 20000ක් පමණ මුහුණ පාන මෙම දුක්ඛිත, මානුෂීය ගැටලුව පිළිබඳව ප්‍රදේශයේ ජනතාව මාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මාහට නොහැකි විය.
එම ජනතාවට කිසියම් හෝ සාධාරණත්වයක් ඉටු කිරීම උදෙසා, මෙම ගැටලුව පිළිබඳ සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළත්, ඔවුන් තරයේම කියා සිටියේ, රක්ෂිත වනාන්තරයේ එකදු බිම් අඟලක්වත් මේ සඳහා නිදහස් කිරීමට නොහැකි බවයි. එවැනි මතයක් ඔවුන් දරන්නේ, එය ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට එකතු වන අලුත් වගකීමක් නිසා බවයි මාගේ මතය.

වසර 30ක පමණ දේශපාලන ඉතිහාසය තුල, මා දිගාමඬුල්ලේ ජනතාව උදෙසා මාගේ සියලු කාලය, ශ්‍රමය, ධනය පරිත්‍යාග කළ මිනිසෙකි. එබැවින් මෙවැනි රක්ෂිත වනාන්තර නිදහස් කර මාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා ලබා ගැනීමට කිසිදු උවමනාවක් මාහට නොමැති අතර, එලෙස මාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා මෙතෙක් රජයෙන් හෝ දේශපාලන බලය භාවිතා කොට ලබාගත් කිසිදු දෙයක්ද නොමැත. එය ආදරණීය දිගාමඬුල්ලේ ජනතාව මෙන්ම, මාගේ හෘද සාක්ෂියද දන්නා කාරණයකි.

ආදායම් බෙදීයාමේ විෂමතාවය සැබෑ ලෙසම විදහා දක්වන ශ්‍රී ලංකාව වැනි රටක, ආර්ථික මට්ටමෙන් පහලම, දුෂ්කර ජීවිතයක් ගත කරන මෙවැනි පවුල් 20000කට අධික මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට මෙසේ හෝ මැදිහත් වීමට ලැබීම සම්බන්ධයෙන් මා සතුටු වන අතර, මෙවැනි පීඩාවට පත් වූ අහිංසක ජනතාව වෙනුවෙන්, ඉදිරියටත් ඕනෑම ආකාරයකින් මැදිහත් වීමට පසුබට නොවෙමි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ඇතැම් මාධ්‍යයන් සහ සමාජ ජාලාවල මාහට විරුද්ධව, විශාල දෝෂාරෝපණයක් ප්‍රචාරණය කරමින් පවතී. දැඩි කණගාටුවෙන් යුතුව මා ඔවුන්ට මතක් කර සිටින්නේ, දහඩිය කඳුළු මැද්දේ, වේලක් ඇර වේලක් ආහාරයට ගෙන තම ජීවන අරගලය වෙනුවෙන් සටන් වදින දුප්පත් ජනතාවගේ කෝණයෙන්, මෙම ගැටලුව දෙස අවධානය යොමු කරන ලෙසයි..

ස්තූතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස