මම සුළුතර හිටපු ජනාධිපති…අනුර සුළුතර වත්මන් ජනාධිපති… අපි දෙන්නාම එකයි…! – රනිල්….

October 28, 2024 at 10:22 am | by emanisa.lk

තමාට මෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනසක් නොමැති බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මීගමුවේදී ඊයේ(27) මේ බව ප්‍රකාශ කළේය.

“අද මා මෙහි පැමිණියේ අලියාට ඡන්දෙ දෙන්න කියන්න නොවේ. ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්නයි කියන්නට මා අද මෙහි පැමිණියා. රට කඩා වැටුණු අවස්ථාවේ වගකීම බාරගන්න වෙන කිසිවකුත් හිටියේ නෑ. සජිත් හෝ අනුර එදා සිටියේ නැහැ. අගමැති වෙන්නවත් කවුරුවත් හිටියේ නැහැ. එක දවසක් නිමල් ලංසා මට කතා කරලා අගමැති වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔයා මට අගමැතිකම දෙන්නේ කොහොමදැයි මම ඇහුවා.

කිසිවෙකුත් භාර ගන්නේ නැතැයි නිමල් ලංසා මට කිව්වා. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයා හමුවන්නට ගොස් මා ඒ අභියෝගය භාර ගත්තා. ටික කාලයක් යන විට ජනාධිපතිතුමත් යන්න ගියා. එදා පාර්ලිමේන්තුව වට කරපු දවසේ කවුරුවත් හිටියේ නෑ. අද රට ඉල්ලන හැමදෙනාම එදා දිව්වා. අප හමුදාව යොදවා මේ රට ආරක්ෂා කළා. ඊට පසුව පාර්ලිමේන්තු ඡන්දෙදි මට ඉදිරිපත් වන්නැයි ඉල්ලීම් ආවා. ඉන්පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා.

අනුර දිසානායක මාස තුනයි ඉන්නේ කියා මිනිස්සු කියනවා. මම නම් එහෙම කියන්නේ නැහැ. එතුමා ජනාධිපති ලෙස ගමනක් යා යුතුයි. එතුමාගේ පක්ෂය පැත්තෙන් දෝෂාභියෝගයක් ආවොත් නම් මම දන්නේ නැහැ. එහෙම දේවල් කළ යුතු නැහැ. හැබැයි දාලා තියෙන ලැයිස්තුව දැක්කොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක්වත් තියෙයි කියලා මං නම් හිතන්නේ නෑ. ඉතින් පළපුරුදු රට ගෙනියන්න පුළුවන් අයට ඡන්දය දිය යුතුයි. පරපුරුදු අය පාර්ලිමේන්තුවේ හිටියොත් ජනපතිට අවුරුදු තුනක් හරි රට ගෙනයන්න පුළුවන්. එහෙම නැති වුනොත් පොල් පෝලිම් නොව හැම තැනම පෝලිම් තිබේවි.

පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි අනුර මට කියා තිබෙනවා. මම ඒක පිළිගන්නවා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්දය ඉල්ලු‍වා. බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා. ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැනේ. 51% ක් ලැබුණේ නැහැ. ඉතින් එතුමගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාට වගේම මටත් බහුතරය නෑ. ඉතින් විශේෂත්වය මොකක්ද? අපි දෙන්නම ඉන්නේ එකට.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *