මම ලංකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම් 36ක් ආරම්භ කළා! සේලයින් සමාගමක් ආරම්භ කළා! වැඩම කළා මිස පම්පෝරි ගැහුවේ නැති නිසා ජනතාව ඒවා දන්නේ නෑ! – සුවපති

August 20, 2020 at 11:26 pm | by emanisa.lk

ලංකාවේ ප්‍රථම සේලයින් නිෂ්පාදන සමාගම ආරම්භ කළේ රාජිත සේනාරත්න බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි. එය දැන් වර්තමාන ආණ්ඩුව කළ දෙයක් ලෙස හුවා දක්වමින් පිරිසක් ලකුණු දමා ගැනීමට කටයුතු කරන බව ද එහි සඳහන් වෙයි.

රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

‘අලුතින් ඖෂධ සහ සේලයින් නිපදවීමට පටන්ගත්තා’ යැයි කියමින්,තමන්ම තමන්ට ආඩම්බරයි කියාගනිමින් සංසරණය වන සටහනක්, වත්මන් රජය විසින් පත්කළ SPMC රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නැමැත්තා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකොට තිබුණි.

මිනිසෙක් හෝ ආයතනයක් හෝ රජයක් හෝ වේවා ආඩම්බර විය යුත්තේ ‘තමන් විසින් සිදුකළ හඳුන්වා දුන් සේවාවන් හෝ ආරම්භ කළ නිෂ්පාදන’ පිළිබඳව මිස, අනුන් ආරම්භ කළ දේ තම නමට ලියාගැනීමෙන් නොවේ. එය ආඩම්බර වීමට නොව ලැජ්ජා වීමට කාරණයකි.

වසර 2015 දී රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගන්නා විට ශ්‍රී ලංකාවේ (දේශීය) ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිසිවක් තිබුණේ නැත. මින් පෙර සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකුට හෝ එවන් සැලසුමක් හෝ උවමනාවක් තිබුණේ යැයි දකින්නට ලැබී නැත. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් සහිතව සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාරගත් එතුමා මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සිසුවෙක් වීමේ අමතර හේතුවද සහිත වූවෙකි.

එතුමා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 36 ක වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදන අතර වසර 2019 අවසාන වනවිට, ඉන් 18 ක වැඩ අවසන්ව නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටියි. අත්‍යවශ්‍ය ඖෂධ රැසක්, කාලයක් තිස්සේ එම නිෂ්පාදනාගාර තුළ නිෂ්පාදනය වේ. තවත් නිෂ්පාදනාගාර 18 ක වැඩ අවසන් වීමට නියමිතව තිබේ. මේ සියල්ල පසුගිය යහපාලන රජය යටතේ ආරම්භ වූ ඒවාය. සංවාදයට ලක්වන, සේලයින් නිෂ්පාදනාගාරයේ වැඩ ආරම්භ වූයේද රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ මීට වසරකටත් පෙර වන අතර එය පිහිටා තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේය. මෙම වසරේ මැයි මාසයේ එහි වැඩ අවසන් වී නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණි. පිළිකා ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ අවසන්ව දැනට මාස 8 ක් පමණ ගතවී ඇති අතර ඊට WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේඥයන්ගේ සහතිකය ලැබී ඇතත්, NMRA ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නොතිබීම නිසා නිෂ්පාදන කටයුතු ආරම්භ වීම ප්‍රමාද වෙමින් ඇත.

2015 රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට පෙර SPMC නිෂ්පාදන ධාරිතාවය පෙති සහ කරල් බිලියන 2 ක ප්‍රමාණයක තිබූ අතර 2019 අවසානය වනවිට එය පෙති සහ කරල් බිලියන 4 දක්වා වැඩි කිරීමට එතුමන්ගේ මඟපෙන්වීම යටතේ SPMC ආයතනයට හැකි විය. රාජිත සේනාරත්න මහතා වැඩ කෙරුවා මිස, ආඩම්බර වෙවී සිටියේ නැත. තනතුරු ලැබෙන්නේ වැඩ කිරීමට මිස, ආඩම්බර වෙවී සිටින්නට නොවන බව රාජිත සේනාරත්න මහතාගේ අදහසයි. ආඩම්බර වීමටම ඕනෑ නම්, ‘තමන්ම වැඩක් කරලා ආඩම්බර වෙනවා මිස, අනුන් කරපු වැඩවලට තමන්ගේ නම දාගැනිමෙන් ඵලක් නැති බව’ එතුමාගේ අදහසයි!

-රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස