වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකයවරයා අද (13) ගම්පොළ දී මේ බව ප්‍රකාශ කළේය.
“වත්මන් ජනාධිපතිවරයා පත් වූ දින කියා සිටියේ තමාට වැල් පාලමකින් එගොඩ වීමට සිදුව ඇති බවයි. මේ වන විට වැල් පාලමෙන් එගොඩ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කුමාරවරු ටිකයි. එම කුමාරවරු මේ වන විට කියා සිටින්නේ අරගලයේ සිටි තරුණ පරපුර මර්දනය කළ යුතු බවයි.
ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති මොහොතක රාජපක්ෂවරු සහ ඔවුන්ගේ පරම්පරාව ගොඩ ගියා. මෙම කුමාරයාගේ උපදෙස් මත තරුණයෝ පුනරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙන ඒමට සූදානම් වෙනවා. ඒ සඳහා විපක්ෂයක් ලෙස අපි විරුද්ධයි.
රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත ක්‍රියා නොකරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් ඔහුට සිදු වන්නෙත් රාජපක්ෂලාට සිදු වූ දේමයි.”