මගේ අරමුණ නිවැරදි දේ කිරීම මිස සියලු දෙනා සතුටු කිරීම නෙමෙයි…! පුහු විවේචකයින්ට අනාගතයක් නෑ…! අසුබවාදීන්ට ලෝකය වෙනස් කරන්න බෑ,..!

February 5, 2022 at 8:15 am | by emanisa.lk

ලැබූ නිදහසින් උපරිම ප්‍රයෝජන ලැබෙනුයේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විට බවත් වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 74 වැනි ජාතික නිදහස් දින ජාතික උත්සවයේ දී ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී නිදහස් දින ජාතික උත්සවය ඊයේ (4) පෙරවරුවේ මහත් අභිමානයෙන් යුතුව පැවැත්විණි.

රටක් නිසි දිශානතියකට මෙහෙයවීමේදී ඒ සඳහා සියලු දෙනාගේ සහාය බලාපොරොත්තු විය නොහැකි බවත් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කළ සැලසුම් වෙනස් නොවන අය දෙස බලා අතහැර දමන්නට සූදානම් නැති බවත් ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේය.

“තම අරමුණ රට වෙනුවෙන් නිවැරැදි දේ කිරීම මිස සියලු දෙනා සතුටු කිරීම නොවේ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී සිටින අයට අනාගතයක් නැත. අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නෙත් නැත.

ජනතාව නායකයකුගෙන් බලාපොරොත්තු වන්නේ සියලු අර්බුද කළමනාකරණය කර ගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පැන යෑම නොවේ. රට මුහුණ දෙන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නායකත්වය දීමට තමන් හැමවිටම සූදානම් යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

රට ඉදිරියේ ඇති අභියෝග ජය ගත හැක්කේ ජයග්‍රාහි ගමනක් වෙනුවෙන් වූ කැප කිරීම් කළ හොත් පමණි. දුෂ්කර කාල සැමදා එලෙසම නොපවතී. දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. අප වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිසිවක් දීර්ඝකාලීන ගැටලු නෙමෙයි. සුබවාදි ප්‍රවේශයකින් ගැටලුවලට පිළිතුරු සෙවිය යුතුයි.

රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යනවාට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සෙවීමයි. ආණ්ඩුව අද අවධානය යොමු කර තිබෙන්නේ ඒ සඳහායි.”

රටට ආදර්ශයක් වන අයුරින් සැම විට ම කටයුතු කරන ලෙස සියලු මැති ඇමැතිවරුන්ගෙන් සහ අනෙකුත් දේශපාලනඥයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටි ජනාධිපතිවරයා, ජනතාවට ඒ ආදර්ශය සපයන විට බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

දිනූ නිදහස අනාගත පරපුර වෙනුවෙන් සුරකින අතර රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවට දුන් ප්‍රතිඥාව සැම විටම සුරකින බව ද ජනාධිපති රාජපක්ෂ අවධාරණය කළේය. නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කර ගත් අභිමානවත් දේශයක් ගොඩනැඟීමට එක්වන්නැයි සියලු දේශප්‍රේමි ජනතාවට ජනාධිපතිවරයා ආරාධනා කර සිටියේය.

තම ඉතිරි ධුර කාලය තුළ රටේ තිරසර සංවර්ධනයක් උදා කර ගැනීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් මොන තරම් බාධක ආවත් රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුබවාදීව බලා ඔවුන්ගේ නිසි දායකත්වය දුන්නොත් ඒ අරමුණු ඉටු කර ගන්නට හැකි බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස