භානුක ඉල්ලා ක්‍රිකට් ආයතන අසල විරෝධතා…! “බෝන් අගේන්ට ජය වේවා!” යැයි සටන් පාඨ…!

February 23, 2022 at 7:43 am | by emanisa.lk

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරයට එක් කර නොගැනීම පිළිබඳව විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඊයේ (22) දහවල් පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

භානුක රාජපක්ෂව කණ්ඩායමට එක් කර ගන්නා ලෙසත් ඔහු ඉන්දීය සංචාරයෙන් නොසලකා හැරීම අසාධාරණ බවත් කියමින් විරෝධතා පුවරු රැගත් 50 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් වූහ.

විරෝධතාවට සහභාගී වූ පිරිස එම ස්ථානයෙන් රථ වාහන ගමන් කරන විට වරෙක “හු” කියමින් උන්මත්තකයින් ලෙස හැසිරුණු බව ද ඔවුන්ගේ විරෝධතා පුවරුවල දැක්වුණු ඇතැම් සටහන් ප‍්‍රසිද්ධ ස්ථානවල ප‍්‍රකාශ කිරීමට තරම් නුසුදුසු ඒවා බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අතර “ඇඟ බැලූවනම් 96 අර්ජුනත් නැහැ, වර්ල්ඩ් කප් එකත් නැහැ, භානුකට සාධාරණය ඉටු කරනු.” ආදී සටන් පාඨ ද එල්ලා ගත් පිරිස් වූහ. එසේ විරෝධතා දැක්වූවන් වරෙක “බෝන් අගේන්ට ජය වේවා!” යැයි කියමින් කෑ ගැසූ බව ද අදාළ ප‍්‍රකාශකයා සඳහන් කළේය.

කිලෝ මීටර් 2 දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ භානුක, ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණයෙන් අසමත් වී ඇත. එය සමත් කර දෙන බවට පොරොන්දු වී දින හයක් ජෛව ආරක්ෂිත බුබුල යටතේ රැඳී සිටිය ද දෙවන වරද අසමත්ව ඇති නිසා සංචාරයෙන් ඉවත් කර ඇත.

මේ පිළිබඳව උරණ වූ පිරිසක් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අදාළ විරෝධතාවට එක්ව සිටියහ. කෙසේ වුව ද පැය භාගයකට පසු වැඩි පිරිසක් විරෝධතාව අවසන් කර නික්ම ගිය අතර ඉතිරි පිරිස දහවල් දෙක පමණ වන තුරු එහි රැඳී සිට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *