බදියුදීන් යටතේ සතොසේ සිදු වූ බිලියන ගණනක වංචා දූෂණවල ලිපි ගොනු අතුරුදන්…..!

February 10, 2021 at 7:42 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන් වෙළෙඳ ඇමැති ලෙස සිටි අවධියේ දී සතොසේ සිදුව ඇති රුපියල් බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ලිපි ගොනු අතුරුදන්ව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම වංචාවන්හි මුල මැද සහ අග සොයා ගැනීම ගැටලුවක් වී ඇති නිසා දැනටමත් විගණන සමාගමක් වෝහාරික විගණනයක් ආරම්භ කර ඇතැයි ද කී ඇමැතිවරයා අදාළ ලිපි ගොනු අතුරුදන් වී ඇති බව අනාවරණය වී ඇත්තේ මෙම විගණනයේ දී බව ද කීය.

මේ හේතුවෙන් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කී ඇමැතිවරයා සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි ලෙස 2015 සහ 2019 අතර කාලයේ සතොස ඇතුළු ඊට සම්බන්ධ ආයතනවලට අසාමාන්‍ය ලෙස අලාභ සිදුකර ඇතැයිද අවධාරණය කළේය.

සතොස සැපයුම්කරුවන්ට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන අටකට අධික බව ද මෙහි දී හෙළිවිය. එක් සැපයුම්කරුවෙකුට පමණක් රුපියල් කෝටි අටකට වඩා ගෙවීමට තිබෙන බව අනාවරණය කෙරිණි.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *