බටහිර රටවල් අපට වන්දි ගෙවිය යුතුයි…! – ජනපති…

September 16, 2023 at 9:49 am | by emanisa.lk

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කියුබාවේ හවානා නුවර දී ඊයේ (15) ආරම්භ වූ ‘G 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට බාධා එල්ල කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

එසේම එම තත්ත්වය ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන අතර, ඒ හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය දකුණේ රටවලට සිදු ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 15 වැනි සියවසේ දී වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ සමුද්‍රීය නැව් වැනි අංශයන් මඟින් යුරෝපය අත්කරගත් දියුණුව නිසා ඔවුන්ට ලෝකයේ අනෙකුත් රටවල් යටත් කර ගැනීමට හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය තුළ අද වන විට තාක්‍ෂණික වශයෙන් විවිධ අසමතුලිතතා මතු වී ඇති බවයි.

එම අසමතුලිතතාව පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය සහ බිග් ඩේටා, අයි.ඕ.ටී, කෘත්‍රිම බුද්ධිය, බ්ලොක් චෙයින්, ජෛව තාක්ෂණවේදය සහ ජාන අනුක්‍රමණය වැනි නව තාක්‍ෂණ ක්‍රමවේද වෙත කඩිනමින් යොමු විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

දැනට දුර්වල ක්‍රියාකාරිත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන පිළිබඳ ඇගයීමට ලක්කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්වවිද්‍යාල හතරක් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ඇතිකිරීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ගෝලීය දකුණ සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ එකමුතුව පුනර්ජීවනය කිරීම සඳහා එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් දශකයක් පුරා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් වෙන් කිරීම මඟින් සාමාජික රටවල් යම් කැපකිරීමක් සිදු කළ යුතු බව ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

ඩිජිටල්කරණය, සෞඛ්‍ය, වෛද්‍ය, කෘත්‍රිම බුද්ධිය සහ හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්තිය ආදී ක්ෂේත්‍රවල තාක්ෂණික වේදිකා නිර්මාණය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ, ගෝලීය දකුණේ සිට උතුරට සිදු වන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බළකාය අහිමි වීම දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත් ව තිබෙන බවයි.

එබැවින් ගෝලීය දකුණ වශයෙන් උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බව ජනාධිපතිවරයා අවධාරනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස