අපි රට හැර යාම නවත්වන්න නම් වහාම පඩි වැඩි කරන්න…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

August 24, 2023 at 9:15 am | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතු වෙමින් පවතින සෞඛ්‍ය පද්ධතියේ ඛේදවාචකය වළක්වා ගැනීම සඳහා වන විසඳුම් වහා ඉදිරිපත් කරන ලෙස බලධාරින් වෙත අවධාරණය කිරීම –

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාව තුළ ගනු ලබන තින්දු තීරණ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාව සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වේගවත් වී ඇති වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274 ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 850 ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත්ව විදෙස්ගත වී ඇති බව සඳහන් කළ ද, සැබෑ අගය ඊටත් වඩා වැඩි බව අපට ලැබෙන තොරතුරු තහවුරු කර ඇත.

සංවර්ධිත රාජ්‍යයන් තුළ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් කෙරෙහි විශාල ඉල්ලුමක් ඇති අතර, එම රටවල්හි වෛද්‍යවරුන් ලෙස සේවය කිරීම සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක්ද නිර්මාණය වී ඇත. එසේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ මැදපෙරදිග රාජ්‍යයන්හි වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5000 ක් තවම ශ්‍රී ලංකාව තුල රැඳී සිටීම හරහා ඉදිරියේදී මෙම ගැටලුව තවත් උග්‍ර විය හැකි බවට බරපතල ඉඟියක් ලබා දී ඇත.

මෙරටින් දැනටමත් ඉවත්ව ගොස් ඇති දහසකට අධික වෛද්‍යවරුන් කෙරෙහි අවධානය යොමු කරනවාටත් වඩා මේ මොහොතේ දී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ තවමත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීම සඳහා තීරණය කර ඇති අතිමහත් බහුතර වෛද්‍යවරුන් පිරිස රට තුළ රැඳී සිටීම දිරිමත් කෙරෙන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කෙරෙහිය.

වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ නව වැටුප් ව්‍යුහයක් වෛද්‍යවරුන්ට නිර්මාණය කිරීම ඇතුළු අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ වන විටත් සියලු පාර්ශ්ව වෙත ඉදිරිපත් කර ඇත.

වෛද්‍යවරුන් රට හැර යාම හරහා උද්ගත වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයත්, එය විසඳීම සඳහා යෝජිත නව වැටුප් ව්‍යුහය ඇතුළු විසඳුම් මාලාවත් සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර, එහිදී පහත තීන්දු තීරණයන්ට එළඹෙන ලදී.

බුද්ධිගලනය හරහා සෞඛ්‍ය පද්ධතියටත් අවසානයේ රෝගී ජනතාවගේ ජිවත්වීමේ අයිතියටත් එල්ල වන බරපතල බලපෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මධ්‍යම මට්ටමෙන් අඛණ්ඩව සිදු කිරීම. (මාධ්‍ය හමු සහ පත්‍රිකා බෙදීම් ඇතුළුව)
දිවයින පුරා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 128 හි, එළඹෙන සතිය තුල පැවැත්වෙන ශාඛා සමිති රැස්වීම් හරහා බලධාරීන් තවදුරටත් මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක සිටියි නම් ඒ සඳහා සංගමයක් ලෙස ගත හැකි උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා හා අදහස් ලබා ගැනීම (2023.08.28 හා 29 දෙදින)
බුද්ධිගලනය හා සෞඛ්‍ය අර්බුදය ඒ ඒ පලාත්/ දිස්ත්‍රික්ක තුල පවතින රෝහලවල සේවාවන් පවත්වා ගෙන යාමට අභියෝගයක් වී ඇති ආකාරය නිරාවරණය කරමින් දිවයින පුරා ප්‍රධාන රෝහල්වල ශාඛා සංගම් මඟින් පවත්වන ප්‍රාදේශීය මාධ්‍ය හමු පැවැත්වීම. (2023.08.31)
පවතින තත්ත්වයේ බරපතලකම පිළිබඳ දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සතියක් (2023.09.04 සිට 2023.09.10 දක්වා) ප්‍රකාශයට පත් කොට ක්‍රියාත්මක කිරීම.
මේ වන විටත් ඉදිරිපත් කර ඇති විසඳුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය දක්වමින් දිවයිනේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට නිහඩ විරෝධතා මාලාවක් පැවැත්වීම. (2023.09.11 හා 12 දෙදින තුල)
ඒ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් කොට ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තින්දු තීරණ ගැනීම අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවීම. (2023.09.13 බදාදා දින)
මේ සියලු ක්‍රියාකාරකම් සිදු කරන අතර ඉහත ගැටලු සඳහා විසදුම් ලබා දීමට ඍජු ලෙස මැදිහත් විය යුතු ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සමඟ පවත්වන සාකච්ඡා සඳහා අවස්ථාවන් ලබා ගැනීම.
බුද්ධිගලනයේ අවසන් හානිය සමස්ත පොදු මහජනතාව වෙත බව පැහැදිලිය.

එය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු සාධනීය ක්‍රියාමාර්ග කරා යොමු වීම පුරවැසියන්ගේ ජිවිතවලට වගකිව යුතු රජයක යුතුකමකි. එම යුතුකම හා වගකීම ඉටු කරන මෙන් බලධාරීන්ට අවධාරණය කරමු.

ඒ සඳහා ප්‍රමාද වන සෑම මොහොතක් හරහාම අර්බුදය ඛේදවාචකයකින් කෙලවර වීම වඩා ඉක්මන් වනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සංගමයක් ලෙස ගත හැකි හා ගත යුතු සියලු බරපතල ක්‍රියාමාර්ග කරා යොමු වීමට කිසිසේත්ම පසුබට නොවන බව යලි යලිත් අවධරාණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස