රජයේ සේවකයන්ට ලබා දීමට නියමිත රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ දොළහකට ලබාදීම කෙරෙහි හාම්පුතුන් එකඟත්වය පළ කර නැතැයි කම්කරු අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.
මෙම දීමනාව පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ද ලබාදීමේ හැකියාව සොයා බලන ලෙස ඇමැති මණ්ඩලය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාට දැනුම් දී තිබුණි.
ඒ අනුව ඇමැතිවරයා හාම්පුතුන් සහ වෘත්තිය සමිති කැඳවා සාකච්ඡා පවත්වා ඇත.
විදේශ විනිමය හිඟවීම, අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් නිෂ්පාදන අවම වීම, ණය හා ලීසිං වාරික ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් සේවක සේවිකාවන්ට මෙම දීමනාව ලබා දිය නොහැකි බව හාම්පුතුන් දැනුම් දී ඇත.
තේ හා රබර් අපනයන වැවිලි බෝග සම්බන්ධ හාම්පුතුන් මෙහි දී පෙන්වා දී ඇත්තේ වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් වැඩි කිරීම නිසා මේ වන විට රුපියල් මිලියන 600ක අමතර වියදමක් ද දැරීමට සිදුව ඇති බවයි.
එය වාර්ෂිකව රුපියල් බිලියන හතක් පමණ වන බවත් රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය සීමා කිරීම හේතුවෙන් අස්වැන්න අඩු වී ඇති බවත් හාම්පුතුන් පෙන්වා දී ඇත. කෙසේ වුව ද රටේ සමස්ත නිෂ්පාදනයෙන් 80%ක දායකත්වය දරන්නේ පෞද්ගලික අංශයයයි.