පොලිස්පති පූජිත් පොළොන්නරුවේ සංගීතෙක සිංදු හයක් කිව්වා! ඒ නිසා ආරක්ෂක කවුන්සිලේට එන්න එපා කීවා! – මෛත්‍රී

October 14, 2020 at 9:36 am | by emanisa.lk

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දළදා පෙරහැරේ නැටීම සහ සංගීත සංදර්ශනවල සිංදු කීම වැනි නොහොබිනා වැඩ කළ බවත් ආරක්ෂක මණ්ඩල හමුවට පැමිණ දුරකතන කිහිපයක් තබා ගෙන ඔබමින් සිටි බවත් එහෙයින් ආරක්ෂක කවුන්සිලයට නො පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළි කළේය.

ඒ පාස්කු කොමිසම හමුවේ ඊයේ (13) සාක්ෂි ලබා දෙමිනි.

“පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ ධුර කාලය තුළ නොයෙකුත් විවේචනවලට ලක් වුණා. එයා ජාතික ආරක්ෂක කවුන්සිලයට ආව ම ෆෝන් දෙකක් තියා ගෙන අයිනකට වෙලා ඔබ ඔබ ඉන්නවා. ගන්න තීන්දු තීරණ මොකවක් දන්නේ නෑ. ඔහු කවදාවත් ආරක්ෂක කවුන්සිලයේ දී පොලිස්පති විදිහට කරුණු ඉදිරිපත් කරලා නෑ.

2018 මහනුවර ඇසළ පෙරහැරේ නැටුවා. ඒකට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. දවස් දෙකකට පස්සේ මම ඇහුවා පූජිත්, දියවඩන නිළමෙට නැට්ටුවෝ මදිවෙලා ද ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ මාතර ඉස්කෝලෙක ගිහින් ළමයි ඉස්සරහ ටීචර්ලගෙන් ප්‍රශ්න අහලා ප්‍රශ්නයක් ඇති කර ගත්තා.

පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාවෙන් සංගීත සංදර්ශනයක් තිබ්බා. පූජිත ඇවිත් සර් මම සිංදුවක් කියන්න ද ඇහුවා. මමත් ඔන්නොහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැඟලා සිංදු කියන්න ගත්තා. ජනප්‍රිය ගායකයෙක් වුණත් සිංදු තුනයි කියන්නේ. නමුත් පූජිත සිංදු හයක් කිව්වා. ඒත් නැවැත්තුවේ නෑ.

මිනිස්සු හූ කියයි කියලා මම නැඟිටලා ආවා. මම වාහනේට නඟිනවා දැකලා පූජිත් ඇවිත් සර් මම සිංදු කිව්වා හොඳයි ද ඇහුවා. මම කිව්වා ඔව් ඒ නිසා තමයි මම යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පතිට තිබ්වේ ස්වාමීනි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස