පොදුජන පෙරමුණු සහ ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි! දෙපාර්ශවය කරුණු 20කට එකඟයි!

March 22, 2019 at 7:05 am | by admin

ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21දා) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකතාඟවකට පැමිණීමට හැකිව තිබේ.

දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.

මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැඟෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැඟීමට අවශ්‍ය මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව එකඟතාවයන්ට පැමිණීම පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡා වූ බවද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලු පළාත් පාලන ආයතනවල දෙපාර්ශ්වය එක්ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරගෙන ඒ තුළින් ජනතා විශ්වාසය ගොඩනැඟීමට හැකි බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

දෙපාර්ශ්වය අතර ඊයේ (21 දා) පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් මීළඟ සාකච්ඡාව එළඹෙන අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමටත් තීරණය වූ බවත් එම නියෝජිතයෝ කීහ.

මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන මහත්වරු එක් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස