කිසි ම නීතිඥයකු දේශපාලනයේ නිරත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේ දී සඳහන් නොකළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
මැතිවරණ කොමිසම නියෝජනය කිරීම සඳහා පෞද්ගලික නීතිඥයකු බාහිරින් තෝරා ගැනීම සම්බන්ධයෙන් සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එතුමා සමඟ ප්‍රකාශ කළ දේ පමණක් ජනාධිපතිවරයා සිය කතාවේ දී සිහිපත් කළේ යැයි වජිර අබේවර්ධන කියා සිටියේය.
එසේ තිබිය දී ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි හෙතෙම ප්‍රශ්න කරයි. වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදු කළ සංස්කරණය නොකළ සම්පූර්ණ කතාව හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇතැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනපති කතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් හැන්සාඩ් වාර්තාව මඟින් සැක දුරු කරගත හැකි බවද වැඩිදුරටත් පැවසීය.
“කරෙන් දැනේ” කී සැණින් සමහරුන් කර පිසදා ගන්නා බවත් නිවැරදි මිනිසුන් එසේ කලබල නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන තව දුරටත් කියා සිටියේය.