පුංචි ඡන්දෙන් පොහොට්ටු අලි හවුල 8%ට වැටෙනවා…! – මහාචාර්ය ජී.ඇල්. පීරිස්…

March 6, 2023 at 5:05 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය පිළිබඳව කර ඇති තාක්ෂණික පර්යේෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකට ම සියයට 8ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

පසුගියදා ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස්, ආණ්ඩුවට අකමැත්තෙන් හෝ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මැදහත්වී මැතිවරණයට ඇති බාධා සියල්ලම ඉවත් කිරීම මැතිවරණ කොමිසමට ප්‍රබල සහයක් බවත් නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ රාජ්‍ය නිලධාරීන් 3500කට සිදුවී ඇති අගතියට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවත් හෙතෙම කීය.

මැතිවරණ කොමිසන් සභාව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බව කී ඒ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය ක්‍රියාකලාපය අවසන් කර මැතිවරණ පැවැත්වීමට සහාය දිය යුතු බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ස්වාධීනව කටයුතු කිරීමේ බලය ලැබී ඇති බව කී මහාචාර්ය පීරිස් පැවසුවේ එය මග හැරියොත් එය බරපතළ වරදක් බවත්ය.

නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *