පුංචි එළවළු කඩෙික සේරම එළවළු මිලට ගත්තොත් ඔවුන් පොහොසත් වෙයි කියලා මං හිතුවා…! ඇමති හඳුන්නෙත්ති….

May 15, 2026 at 10:37 am | by emanisa.lk

දේශීය ව්‍යවසායකයා නගාසිටුවීම යනු හුදෙක් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම පමණක් නොව, ඔවුන් විධිමත් නිෂ්පාදන දාමයක කොටස්කරුවන් බවට පත් කිරීම බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර අයිනේ සිටින වෙළෙන්දෙකුගෙන් සියලු නිෂ්පාදන එක්වර මිලදී ගැනීමෙන් පමණක් එම පවුල දියුණු කළ නොහැකි බවයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය සහ ඉඩම් පහසුකම් ලබා දෙමින්, ඔවුන්ව රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

“එක පවුලක ආදායමෙන් ජීවත් වෙන්න බැරුව ඉන්න ඉස්සරහා අර පාර අයිනේ මුරුංග කරල් ටිකක් අලිගැට පේර ටිකක් පේර ගෙඩි ටිකක් තියාගෙන පුංචි එලෝලු ටිකක් පළතුරු ටිකක් තියාගෙන ඉන්න කෙනෙක් දිහා බලලා ඔබ අනන්ත වාරයක් හිතලා ඇති මගේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා මේ ඔක්කොම ටික ගත්තොත් මෙයාට පොහොසත් වෙන්න පුළුවන්ද කියලා. මම එහෙම හිපු කෙනෙක්.

මෙතන ඉන්න කිසිම කෙනෙක් එහෙම හිතන්නේ නැතුව ඉන්නේ නැහැ. හැමෝම එහෙම හිතනවා.
මේ තියෙන පේර ගෙඩි ටික ඔක්කොම ගත්තොත් මේ තියෙන මුරුංග කරල් ටික ඔක්කොම ගත්තොත් මේ තියෙන දෙහි ගෙඩි ටික ඔක්කොම ගත්තොත් මේ පවුලම දියුණු වෙයි කියලා ඔබ හිතුවේ නැද්ද.

අපි එහෙම හිතලා තියෙනවා. එහෙම දුප්පත්කම තුරන් කරන්න බැහැ. මොකද අපි අපේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා ඔක්කොම පේරගෙලි ටික ගත්තත් ආය ඊළඟටත් එයා පේර ගෙඩි ටිකක් ගෙනැල්ල තියෙනවා”

ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය අර්බුද විසඳීමට මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන සමඟ එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර නීති සහ බදු ප්‍රතිසංස්කරණ හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් ආනයන හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට එල්ල වන තර්ජන හඳුනාගෙන, ආනයන ආදේශන දියුණු කරමින් දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *