පිරවුම්හල් හිමියන්ට වැඩිපුර කොමිස් දීලා… තෙල් සංස්ථාවට කෝටි 341ක දැවැන්ත පාඩුවක්… ඒ බරත් ජනතාව කර මතට…!

June 21, 2024 at 9:43 am | by emanisa.lk

පිරවුම්හල් හිමියන්ට වසර අටක කාලයක් තිස්සේ වැඩිපුර කොමිස් මුදල් ගෙවීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

සංස්ථා නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බව කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථා අලෙවි අංශ නිලධාරීන් වගකිවයුතු බව කමිටුව සඳහන් කරයි. මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 – 2022 අතර කාලයේදීය.

එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කළේය.

මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ වන විට රටේ නොමැති බව ද අතර ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ද අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *