පාලකයින්ට සුරසැප විඳිද්දි ජනතාව පෝලීම්වල මහපාරේ..! මා ජනාධිපති නොකිරීමේ ප්‍රතිඵල රට ම අද විඳිනවා..! – සජිත්…

January 15, 2022 at 7:46 pm | by emanisa.lk

වසර 2 කට පෙර අවස්ථා දෙකක දී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (15) රත්නපුරයේ පැවැති සමගි විහිදුම් බලගණයේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනතාව ලබා දුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වී නැති බව පැවසූ සජිත් ප්‍රේමදාස, ඔවුන් සුර සැප විඳින බවත් ජනතාව මහ පාරේ ළතැවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳින බවත් පැවසීය.

මේ ආණ්ඩුව ගෙන යන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්, සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද දැමූ බවත් අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අද වන විට මේ රටට ආයෝජකයින් කිසිවකු නොපැමිණෙන බවත්, අත්‍යවශ්‍ය ඖෂධ ටික, අත්‍යාවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් නොහැකි වන බව ද ඔහු පැවැසීය.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමතිවරු තම තමන් කරන දේ කුමක්දැයි කියාවත් නොදන්නා බව පැවසූ සජිත් ප්‍රේමදාස අද වන විට රටම අඳුරේ තබන්නට ඒ ඇමතිවරු සමත්ව ඇතැයි ද පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස