පාර්ලිමේන්තුව වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මහල්ලන්ගෙන් පුරවන්න එපා..! වෛද්‍යවරුන්ට 60න් ගෙදර යවන්න ගත් තීන්දුව ආපසු හරවන්න එපා..! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන….

October 10, 2022 at 8:00 pm | by emanisa.lk

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

“මේක සම්පූර්ණ වැරැදි ක්‍රියාවක්. පාර්ලිමේන්තුවේ වයෝවෘද්ධ අය පුරවා ගත්ත වගේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වයෝවෘද්ධ අයගෙන් පුරව ගන්න එපා. මේ රටේ තරුණ වෛද්‍යවරු ඇති තරම් ඉන්නවා.

මේක 60න් නවතින්නේ නැහැ. තව ටිකක් කල් යනකොට 65ක්වත් වෙනවා ඊට පස්සේ ඕකෙන් නවතින්නෙත් නැහැ. එංගලන්තය වගේ 70කුත් ඕන අපිට කියලා ඉල්ලයි. කරුණා කරලා ගත්තා නම් තීන්දුවක් ඒ තීන්දුවේ රැඳී සිටින්න.

කොළඹ මහ රෝහලේ 44 දෙනෙකු යනව ලු විශ්‍රාම. එතකොට කඩා වැටෙයි ලු මහ රෝහල. මහ රෝහල කඩා වැටෙන්නේ නැහැ. මොකද? රෝහලේ එක වාට්ටුවක විශේෂඥ වෛද්‍යවරු දෙන්නා තුන්දෙනා පවා ඉන්නේ. වයස යන්න යන්න විශේෂඥ වෛද්‍යවරු කරන්නේ මොකක් ද restroom එකට වාඩිවෙලා පත්තරයක් බල බල ඉන්නවා. හැබැයි තරුණ වෛද්‍යවරු වැඩ කරනවා.

මේකට ඉඩ දුන්නොත් සැබෑ අරගලය පටන් ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන්. අපි සියලු දෙනා එරෙහි වෙලා කටයුතු කරන්න පටන් ගන්නවා. ඔය 249 දෙනා තියා ගත්තොත් මේ රටේ ඉන්න 500 ගාණක් තරුණ වෛද්‍යවරු රට හැර දාලා යන්න සූදානම් වෙනවා.

රටේ තරුණ වෛද්‍යවරුන් ප්‍රමාණවත් තරම් සිටින බවත් 2017 වසරේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් 1,600 සිටිය ද මෙම වසරේදී එය 2,300 දක්වා ඉහළ ගොස් ඇති බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස