බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා වන තමන්ට අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අදාල විවාදයේදී අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ඉල්ලීමක් කළ නමුත් තමාට අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ද ගම්මන්පිල අනාවරණය කරයි.
මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්පසු ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අමතා විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටි බවත්, ඒ සම්බන්ධයෙන් සලකා බලන බවට ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා පොරොන්දු වූ බවත්ය.
කෙසේ නමුත් ඉන්පසු ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙත දන්වා තිබෙන්නේ ඒ වන විටත් ආණ්ඩු පක්ෂ කථික ලැයිස්තුව පිරී අවසන් බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 136,331 දෙනෙකුගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමාට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදීම යනු තමාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ගේ හදවත් ප්‍රතික්ෂේප කිරීමක් බව පෙන්වා දෙන ගම්මන්පිල, වැඩි දුරටත් පවසන්නේ මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ අයිතිය කතානායකවරයා විසින් ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.