“නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිදු කරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව බැංකු ගිණුම් තුනක් පිළිබඳ බැංකු වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහජන බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාවට නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව පොහොර සංස්ථාවේ ගිණුම හිමි මහජන බැංකුවේ කොළඹ පුරහල ශාඛාව, ඉන්දියන් රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාව සහ අදාළ පොහොර ගෙන්වූ බව කියන සමාගමට අයත් මහජන බැංකුවේ ගිණුම යන ගිණුම් තුනට අදාළ බැංකු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.
මෙම සිද්ධිය පිළිබදව සිදුකරන විමර්ශනයට අදාළව එම බැංකු ගිණුම් සම්බන්ධයෙන් වන වාර්තා ලබා ගත යුතුව ඇති බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද මෙම ප්‍රකාශයේ අසත්‍ය කරුණු අන්තර්ගත බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස 24 වැනිදාය.