පළමුදා සිට බස්-කෝච්චි දුවයි..! සියලු සේවකයන්ට වැඩට එන්න කියයි…! ආණ්ඩුව රට අරින්නේ මෙහෙමයි..!

September 28, 2021 at 7:19 am | by emanisa.lk

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ.

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත.

මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *