පරිසරය රකින්න කී අය ම මුතුරාජවෙල රකින්න එරෙහි වෙලා…! – නාලක ගොඩහේවා…

November 6, 2021 at 4:28 pm | by emanisa.lk

මේ දිනවල කරලියට එන මුතුරාජවෙල හා නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ ප්‍රවෘත්තියට අදාල අංක 2248/44 – 2021 ඔක්තෝබර් 07 දිනැති ගැසට් පත්‍රයේ පැහැදිලිවම සඳහන් වන අරමුණ වන්නේ ‘ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම්කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වලක්වාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය, තිරසාර භාවිතය හා රම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමය.

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය රැක ගැනීම අනාගත පරපුර වෙනුවෙන් වර්ථමාන පරම්පරාවේ යුතුකමකි.
‘රම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීම’ යනු පරිසරය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් මිස අන් වෙනත් සංවර්ධනයක් නොවේ.

මේ කටයුත්තට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පිට නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වනජීවී අමාත්‍යාංශය හා පරිසර අමාත්‍යාංශය අත ගැසුවේ මීට මාස 10 කට පමණ පෙර අති උතුම් කාදිනල් තුමාගේ ප්‍රධානත්වයෙන්ම මුතුරාජවෙල පරිසර විනාශය ගැන කල ප්‍රකාශයන් පදනම් කරගෙනය.

අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරු සම සභාපතීත්වය දරන මෙහෙයුම් කමිටුවක් විසින් කළ සාකච්ඡාවල තීරණය වූයේ මේ ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම තුළින් එය සංරක්ෂණය කිරීමට වඩාත් ප්‍රායෝගික විසඳුමක් ලැබෙන බවය.

සංරක්ෂණ කටයුතු පහත් බිම් සංවර්ධන අධිකාරිය විසින් කරණු ලබන අතර අවසානයේ සංරක්ෂණය කළ රම්සා තෙත්බිම ජාතික වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමට නියමිතය. එහි නියාමන කටයුතු වනජීවී අමාත්‍ය්‍යාංශයට හා පරිසර අමාත්‍යාශ පනත් නීති රීතිවලට අනුව සිදුවනු ඇත.

මේ වෙනුවෙන් නම් කොට තිබෙන ප්‍රදේශවල දැනට පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීමක් සිදු නොවන අතර අලුතින් ඉඩම් ගොඩ කිරීමට හෝ තවදුරටත් වගුරු බිමට කැළිකසළ බැහැර කිරීමට ඉඩ නොදෙනු ලැබේ.
අප උත්සාහ කරන්නේ පරිසරය රැකීමටය. එදා අපිට පරිසරය රකිනා ලෙස ඉල්ලීම කළ අයම අද එයට විරුද්ධ වීම අරුමයකි.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *