හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙළඹවීම පසුපස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිටින බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.
මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවල ජනතාව විරෝධතා අරඹා තිබුණේ පෙරේදා (21) පටන්ය. එම පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, රුපියල් දසදහසේ සහන මල්ලක් ලබා දිය යුතු බවත් ඉල්ලා උද්ඝෝෂණ අරඹා තිබිණි.
මෝදර, ඉබ්බගේවත්ත අලුත් මාවත පදිංචි පවුල් 300ක් පමණ රුපියල් දසදහසේ ආහාර මල්ල ඉල්ලා උද්ඝෝෂණ ඇරඹුවේ පෙරේදා (21) දිනයේම ය.
මෝදර ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දී දින දෙකකට පසුව මෙම උද්ඝෝෂණය සැලැසුම් කර තිබිණි. උද්ඝෝෂකයින් මෙහෙයවු පිරිස් පසුපස සිටින දේශපාලනඥයින් දෙමටගොඩ, කාලිපුල්ල වත්තේ සියපත සෙවන නිවාස යෝජනා ක්‍රමයේද සිටින ජනතාව ද විරෝධතාවකට යැවීමට සූදානම් කරන බව ද හෙළි වී තිබිණි.
රජය මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහස හා දසදහසේ ආහාර මල්ල ලබා දීමට රුපියල් බිලියන 2.6ක් (මිලියන 2600ක්) වැය කර ඇත.
රුපියල් දසදහසේ ආහාර මල්ල නිරෝධායනයට ලක් කර ඇති පවුල් වෙත පමණක් ලබා දුන් නමුත් මේ වන විට උද්ඝෝෂණ පවත්වා හුදකලා ප්‍රදේශවල සිටින අයත් එය ඉල්ලමින් සිටිති. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් හාරලක්ෂ පනස් පන් දහසකට මේ වන විට රුපියල් පන්දහස පමණක් ගෙවා ඇත.