බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු භික්ෂුන්ට පමණක් සීමා කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ අංශාධිපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සාමාජික මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ සඳහන් කරති.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මේ විට උද්ගතව ඇති තත්ත්වයට එහි ගිහි ශිෂ්‍යයන් බහුතරයකගේද සම්බන්ධයක් ඇතත් එහි ශිෂ්‍ය භික්ෂුන් පමණක් එල්ලකර ගනිමින් විවිධාකාරයේ චෝදනා එල්ල වීම නිසා සංඝ සමාජය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනායකහිමිවරුන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පමණක් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස එහි උප කුලපති හිමියන් මහනාහිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ සඳහන් කර ඇති බව ද රාහුල නාමියෝ සඳහන් කළහ.
එමෙන්ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරා ගැනීමටද යෝජනා ඉදිරි පත්ව ඇත. එලෙස මෙම විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල කොමිසම යටතට පත් කළහොත් අවශ්‍ය නව නීති එකතු කර ගනිමින් විශ්වවිද්‍යාල පරිපාලනය විධිමත් කිරීමටද පියවර ගත හැකිවනු ඇති බවද රාහුල අනුනාහිමියෝ සඳහන් කළහ.