අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් ‘සමා කාලය’ තුළ ඒවා රුපියල්වලට හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබා ගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
“ඩොලර් විනිමය සඟවා ගෙන සිටි අය දැන් ඒවා කළු වෙළෙඳපොළෙන් හුවමාරු කරගන්න උත්සාහ කළත් අවාසනාවන්ත විදියට ඔවුන්ට ලැබෙන්නේ අඩු අනුපාතයක්. ඩොලර් රැස් කරගෙන සිටි අපනයනකරුවන්ට වගේම ඩොලර් රැස් කරන ආනයනකරුවන්ට, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වැනි කළු වෙළෙඳපොළෙන් ඩොලර් රැස් කරන වෘත්තිකයින්ට ප්‍රශ්න කිරීමකින් තොරව එම ඩොලර් රුපියල්වලට හුවමාරු කරගන්න අපි මාසයක කාලයක් ලබාදුන්නා.
ඒත් එක්රැස් වුණේ ඩොලර් මිලියන 30ක් පමණයි. අපට ඇහුම්කන් දුන් අපනයනකරුවන්ට එම කාලසීමාවේදී ඩොලරයකට රුපියල් 365ක් රුපියල් 370ක් විතර ලැබුණා. ඒ නිසයි අපි වෙළෙඳපොළට මැදිහත් වුණේ. ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසාම දැන් කඩිමුඩියේ ඩොලර් හුවමාරු කරනවා රුපියල්වලට. සමාකාලය තුළ ඩොලර් මිලියන 30ක් පමණක් රැස්වුණත් ඔවුන් දින 07ක් තුළ ඩොලර් මිලියන 500ක් වෙළෙඳපොළට ගෙනැවිත් තිබෙනවා.
එහිදී ඩොලර් වෙළෙඳපොළ කඩාවැටීමක් ඇති වුණත් අප මැදිහත් වීම නිසා එය තවදුරටත් කඩාවැටීම වැළකුණා. වෛද්‍යවරුන්, බැංකුකරුවන්, රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් විරෝධය පාන්නේ ඔවුන්ට උපයා ගන්නා විට බදු ගෙවීමට සිදුව ඇති නිසා. මම හිතන්නේ නීතිඥවරුන් විරෝධය නොපාන්න හේතුවක් තිබෙනවා ඇති. විනිසුරුවරුන් ඒ සම්බන්ධයෙන් තර්කයක් ගෙනැවිත් තිබෙනවා. ඔවුන්ගේ ආදායම සැඟවිය නොහැකි ප්‍රකාශ කළ යුතු නිසා. නීතිඥයින් දන්නවා බදු මඟහරින විදිය. ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ලබන ආදායම ප්‍රකාශ කරන්නේ නැහැ.”
ඊයේ (12) කොළඹ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.