නිරෝධායනයට යන්න බෑ කියා PCR එපා කියති! පෑළියගොඩ කුඩ්ඩෝ 18ක් කුණු ඇළට පැන පළා යති!

October 27, 2020 at 6:27 am | by emanisa.lk

පෑළියගොඩ මාළු වෙළෙඳපොළ ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් වීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් එම වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුණු ඇළට පැන එගොඩටට පීනා පලා ගොස් ඇත.

ඉකුත් (19) සඳුදා අහඹු ලෙස කළ 109 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී 49 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු විය.

මාළු වෙළෙඳපොළේ සේවය නිරත පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ද ඇතුළුව 1200 දෙනකු පමණ එදින රාත්‍රී 10.00ට ආසන්න හෝරාව වන තෙක් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබේ.

පෑළියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව සිදුකළ එම පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු පිරිස එහි සිට බස්රථවලින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර ඇත.

පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තමන් කළ වරද පිළිබඳ අවබෝධ කරගත් කීපදෙනෙක් බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබා දී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස ඉල්ලා සිට ඇතැයි පෑලියගොඩ නගර සභාවේ නිලධාරියකු පැවැසීය.

මේ පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන බව එම නිලධාරීහු පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *