නිපුණතා සහිත තරුණ පරපුරක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි!

March 24, 2019 at 7:42 am | by admin

රටක ඒක පුද්ගල ආදායම, සංවර්ධන වේගය පිළිබඳ කතා කළත් සමාජයේ දුප්පත්කම නතර නොවන්නේ නම් එය තිරසාර සංවර්ධනයක් ලෙස හැඳින්විය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණේ ‌කෝට්ටේ නාගරික මන්ත්‍රිනි කාංචනා පැල්පොලගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි ‌ පිරිසක් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට දැනුම හා ප්‍රාග්ධනය ලබාදීම දිවියට සවියක් නමින් හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ උත්සවයක දී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් දැක්වීය.

සමාජයට ඉතා වැදගත් කටයුත්තක් මේ සිදුකරනු ලබන්නේ. රජය විසින්ම නොව සමාජයේ යම් යම් කොටස් විසින් රටේ අවශ්‍යම ජනකොටසක් බලවත් කිරීමට යෙදෙන වැඩසටහනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ පහළම සිටින ජන කොටසක් ඉහළට ගැනීම මෙහි අරමුණයි. රජය විසින් කළ යුත්තෙත් මෙවැනි දේවල්. රටක ඒක පුද්ගල ආදායම, නිෂ්පාදිත ආදායම ගැන කතා කළත්, සංවර්ධන වේගය ගැන කතා කළත් රටක දුප්පත්කම නතර වෙන්නේ නැතිනම් තිරසාර සංවර්ධනයක් වෙනවා කියන්න බැහැ. මෙවැනි සමාජයක් බලගැන්වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. සමෘද්ධිය, දිවිනැගුම වැඩසටහන් එදා අපේ රජය ආරම්භ කළේ ඔවුන් බලගැන්වීමටයි. රජයේ රැකියාවක් මතම යැපෙන්නේ නැතිව ස්වඋත්සාහයෙන් ආදායමක් උපයා ගැනීමට යොමුවිය යුතුයි. යම් කෙනෙක් අඩු ආදායමක් ලැබෙන්නේ ව්‍යාපාරයක් කරන්න මුදල් නොමැතිකමයි නිසයි. දුප්පත්කමට හේතුව රැකියාවක් කිරීමට නිපුණත්වයක් නොමැතිකම නිසයි. මෙවැනි කොටස් දිරිගැන්වීම ඉතා වැදගත් දෙයක්. රජය මැදිහත් වෙනවාට වඩා සමාජයේම යම් යම් කොටස් මැදිහත් වෙලා කරන මෙවැනි කාර්යයන් ඉතා වැදගත්.

ඒ වගේම අපේ රටේ විශාලම ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ විවිධ ක්‍ෂේත්‍රයන්හි නිපුණත්වයක් නොමැතිකමයි. වෘත්තීය නිපුණත්වයක් තිබෙනවා නම් බොහෝ රැකියා තිබෙනවා. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ තිබෙන දුර්වලතා නිසා මෙවැනි නිපුණත්වයක් සහිත තරුණ තරුණියන්ගේ අඩුකමක් දක්නට ලැබෙනවා. උසස් පෙළ විශාල පිරිසක් සමත් වෙනවා. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතරමං වෙනවා. ඔවුන්ට කිසිම නිපුණතාවයක් නැහැ වෙනත් දෙයකට යොමු වීමට. මිලියන 1.5 ක් පමණ ත්‍රීවිල් තිබෙනවා. මිලියන 1.2 ක් පමණ එය ව්‍යාපාරයක් විදිහට භාවිත කරනවා. දත්ත හරියටම අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් දිනකට රුපියල් 3000 ක් පමණ උපයනවා. මීට අමතරව නිපුණත්වයක් තිබුණා නම් රුපියල් පන්දහසක් පමණ උපයා ගැනීමට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙක් තරුණ අය. රටේ වැදගත්ම කොටස් ත්‍රිරෝද රථයට යොමු වෙලා සිටින්නේම නම් සමාජමය වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ඉදිරියට එන රජයකට මේ දේවල් ප්‍රශ්නයක් වෙනවා. ඉදිරි රජයක් ඒවාට එරෙහිව විසඳුම් දිය යුතුයි.

අද ලෝකයේ නිෂ්පාදනය දිහා බැලුවාම චීනය ඉහළ ස්ථානයක සිටිනවා. අපි ඊළගට ඉන්නවා. නමුත් අවාසනාවකට හරි මඟකට තරුණ පරපුර යොමු කරලා නැහැ. එනිසා ඵලදායීතාව ලබා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. තරුණ තරුණියන්ට නිසි නිපුණත්වයක් දීම වෙනුවෙන් මේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට යන පිරිස්වලින් ඉතා සුළු කොටසක් තමයි රැකියාවන්ට යොමු වෙන්නේ. ආර්ථීකයන්ට වැදගත් වන නිපුණතාවන්ට යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්. අපේ තරුණයන් අවදානමක් ගන්න අකමැතියි. එනිසයි අපේ ව්‍යවසායන් බිහි වෙන්නේ නැත්තේ. බොහෝ තරුණ පිරිස් ත්‍රිරෝද රැකියාවට යොමු වෙන්නේ ඒ නිසයි. අපේ රටේ සිටින පහළ මට්ටමේ සිටින අයට තමන්ගේ ජීවිතය සාරවත් කරවන්නට යොමු කරවීම ඉතා වැදගත්. ඒ කාර්යය වෙනුවෙන් රජය ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ සඳහා පෞද්ගලික අංශය මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීම ඉතා වැදගත්. තමන් හරිහම්බ කළ මුදල් සමාජයට වැදගත් වන ලෙස යොදා ගැනීම ගැන ප්‍රශංසනීයයි. සමාජයට මෙවැනි දේවල් ආදර්ශයක්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස