නැව් ගින්නෙන් ලංකාවේ පරිසරයට සහ ජනතාවට වූ හානිය පිළිබඳ කනගාටුයි…! සිදු වූ හානිය තක්සේරු කර වන්දි ගෙවනවා…! – එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවෝ….

June 4, 2021 at 2:05 pm | by emanisa.lk

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදු ව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම පවසයි.

සිංගප්පුරුවේ රූපවාහිනී සේවාවක් සමග පැවති සංවාදයක දී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පැවසුවේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවය.

“මෙම සිදුවීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කනගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. මෙම සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයින් සමග සම්බන්ධ වුණා. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමගත් අපි වැඩ කරනවා. නමුත් මෙතෙක් නැවෙන් තෙල් කාන්දුවන බව හඳුනාගෙන නෑ.

නැවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අප ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතා අඩුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වන්දි තක්සේරු කරමින් ඉන්නේ. නමුත් මතක තබා ගත යුතුයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. මෙම සිදුවීම නිම වීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේ වන විටත් ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කරලා තියෙන්නේ.

අපි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව සමග එකතුව අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසිඳු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය සමහර උපකරණ සැපයීම කළා.

මේ වන විට නෞකාවේ කොටසක් ගිලි ලා තියෙන්නේ. ඒක දැන් මීටර් 21ක් විතර ගැඹුරු මුහුදු පත්ලේ රැඳිලා තියෙන්නේ. අනෙක් කොටසුත් ගිලෙනවා. අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්..ඉන් පසුවයි කළ හැකිදේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයින් සෙවිල්ලෙන් ඉන්නේ ඉන්ධන කාන්දුවක් වෙයිද යන්න ගැන.”

adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස