දේශීය N JOY පොල්තෙලෙත් පිළිකාකාරක…! සියලු තොග ගබඩා සීල් තබයි…! මුදාහළ පොල්තෙල් යළි කැඳවයි…!

April 29, 2021 at 5:14 pm | by emanisa.lk

N JOY වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් ඇති බව කළ පරීක්ෂණවලදී ඊයේ (28) අනාවරණය වී තිබේ.

එම නමින් ‍වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල මෙන්ම එම සමාගමේ ගබඩා සංකීර්ණයේ ගබඩාවලින් ලබාගත් සාම්පල හා වෙළෙඳපොළට යොමු කිරීමට සූදානම් කර තිබූ පොල්තෙල් බෝතල් සාම්පල ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම පරීක්ෂාවේදී පිළිකාකාරක ඇල්ෆොටොක්සීන් ඇති බව හඳුනාගෙන ඇති අතර මේ ආකාරයටම තවත් සාම්පල ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයේ පර්‌යේෂණාගාරයේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ද ඇෆ්ලොටොක්සීන් ඇති බව දෙවන වරටත් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙම නාමය යටතේ දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති සියලුම පොල්තෙල් යළි ගෙන්වා ගන්නා ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමාගමට දැනුම් දී ඇත. තව ද මෙම සමාගමේ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ගබඩා සංකීර්ණයට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තබා තිබේ.

‘N JOY’ වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන පොල්තෙල් දේශීය වශයෙන් කොප්පරා ලබාගෙන නිෂ්පාදනය කරන බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස