එක්සත් ජනපදය පදනම් කරගත් නිව් ෆෝට්රස් සමාගම (New Fortress Energy) ටෙන්ඩර් පටිපාටි මග හරිමින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රවීකෘත වායු (LNG) සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාගැනීම වැළැක්වීමට මැදිහත්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.
කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් අමතමින් ලිපියක් යොමුකරන ඉංජිනේරු සංගමය පෙන්වාදී ඇත්තේ මෙම ක්‍රියාවලිය පැහැදිලිවම ඇමරිකාව වෙළෙඳ ගනුදෙනුවලදී අවධාරණය කරන යහපාලනය සහ විනිවිදභාවය වැනි සංකල්ප උල්ලංඝනය කරන බවය.
New Fortress Energy සමාගමේ ‘අනවශ්‍ය යෝජනාවක්’ ලබා ගැනීමට ආණ්ඩුව ගත් තීරණය ශ්‍රී ලංකාවේ නිල LNG ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ කර ඇති බව ද විදුලිබල අංශයේ ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් තුළ ඉතිරිව ඇති විශ්වාසය මුළුමනින්ම බිඳවට්ටන බව ද එම ලිපියෙන් පෙන්වාදී ඇත.
මහජනතාව සඳහා අවම පිරිවැයකින් විදුලි උත්පාදනය සහතික කිරීම සඳහා වත්මන් මාර්ගෝපදේශ හා නීතිවල දක්වා ඇති විනිවිදභාවය ඉතා වැදගත් බව අවධාරණය කරන එම සංගමය, විශේෂයෙන්ම මෙම ‘අනවශ්‍ය යෝජනාව’ රජයට ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාලයම සම්බන්ධ වූ බැවින් මෙය එක්සත් ජනපදය කෙරෙහි නරක ප්‍රතිරූපයක් ඇති කරවිය හැකි බවට ද අනතුරු හඟවයි.