තමන් හා සමගි ජන බලවේගය කෙටවීම සඳහා දුෂ්ට මාධ්‍ය ආයතන 2ක් අසත්‍ය පුවත් පළකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනය මෙසේය.
“සමගි ජන බලවේගය සහ පාඨලී චම්පික රණවක මහතා අතර ගැටුම් ඇති කරලීමේ දුෂ්ට චේතනාවෙන් මාධ්‍ය ආයතන 2ක් තමන්ට රිසි පුවත් ශීර්ෂ යොදා ගනිමින් පුවත් නිර්මාණය කර ප්‍රචාරය කරමින් යන බව අප වෙත දැන ගැනීමට ලැබී තිබේ.
රාජපක්ෂ පාලනය යටතේ රටේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුළු සියලු ම අංශවලින් බිඳ වැටී රට ම කැඳ හැලියක් වී ඇති අවස්ථාවක ආණ්ඩුවට හිතැති මාධ්‍ය යොදවා ගනිමින් විපක්ෂයේ පාර්ශ්ව අතර අනවශ්‍ය ගැටුම් සහ බිඳ වැට්ටවීම් සිදු කිරීම සඳහා ආණ්ඩුව විසින් සිදු කරන මේ මාධ්‍ය මෙහෙයුම් අපි විසින් පිළිකුලෙන් යුතුව බැහැර කරමු.
රාජපක්ෂ පාර්ශ්වය හැර වෙනත් පාර්ශ්ව සමග කෙතරම් මත ගැටුම් තිබුණ ද, ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අප කටයුතු කරන බවත්, විපක්ෂය තුළ බේද අවුළුවා රට අගාධයට ගෙන යන මග ජනතාවගෙන් වසන් කිරීමට යත්න දැරුව ද, දැන් මහ ජනතාව ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් ආණ්ඩුව පලවා හැරීම සඳහා එක්වෙමින් සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු.