දින 06කට පසු අලුත් කැබිනට්ටුව අද දිවුරයි…! ඇමැති ධූර 15කට සීමා කරයි..? මුදල් ඇමැතිකම බැසිල්ට නෑ..!

April 8, 2022 at 8:59 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට අද (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව මෙතෙක් ඇමැති ධූර හිමි වූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බව ද වාර්තා වෙයි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉවත් වීමෙන් පසු එම ඇමැති ධූරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රිද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බව ද පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධූරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රිට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

විදුලිබල ඇමැති ධූරයට හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පත්කිරීමට නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රිය වන තුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8) දින හයක් ගතවෙයි. මේ වන විට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *