දැන් රටේ දිනකට කොවිඩ් රෝගීන් 10 000 ඉක්මනවා….! රට දෙසතියකටවත් වහා ම වසා දමන්න….! – වෛද්‍ය සංගම් 04ක් රජයට කියයි….

May 21, 2021 at 11:10 am | by emanisa.lk

පවතින දැඩි කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අවම දින 14ක් හෝ රටට ම දැඩි සංචරණ සීමා පනවන ලෙස වෛද්‍ය සංගම් හතරකින් දැඩි ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව ඒකාබද්ධව මාධ්‍ය හමුවක් කැඳවමින් අද (21) මෙම ඉල්ලීම කර තිබේ.

මෙම තීරණය ආර්ථික වශයෙන් රටට බලපෑමක් ඇති වන නමුත් මේ භාරදුර අවස්ථාවේ එය හැර වෙනත් විකල්පයක් නොමැති බව මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

මේ වන විට රෝහල් තුළ වෙනත් රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන වාට්ටු ද මේ වන විට කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන්කිරීමට සිදුව තිබෙන අතර දැඩි සත්කාර ඒකක ද කොවිඩ් 19 රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

එමෙන්ම දැඩි සත්කාර ඒකකවල වැඩි දෙනෙක් වෙත ඔක්සිජන් ලබා දීමට ද සිදුව තිබෙන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න අනාවරණය කරයි.

මේ වන විට දිනකට රෝගීන් 3000ක් පමණ හඳුනා ගැනීමෙන් පෙන්නුම්කරන්නේ ඊට වඩා තුන්ගුණයකින් එනම් 10,000 ඉක්මවා රෝගීන් සිටින බව යැයි ද විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියාය.

එම නිසා පවතින මෙම බරපතල තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දින 14කට හෝ රට වසනවා හැර වෙනත් විකල්පයක් නොමැති අතර මේ තත්ත්වය වටහා ගන්නා ලෙස ද ඇය රජයෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *