දැඩි සත්කාර ඒකකයේ බව කී අගමැති පැරාලිම්පික් ක්‍රීඩකයින් සමග හමුවක…!

September 8, 2021 at 5:30 pm | by emanisa.lk

ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය.

පැරාලිම්පික් තරග බිමේ නව වාර්තා තබමින් ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයෙහි ගෞරවාදරයට ලක් කිරීමක් බව එහි දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අපේ ක්‍රීඩා ඉතිහාසය අලුතින් ලියූ මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන් නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද හෙතෙම සඳහන් කළේය. ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැප වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව අවධාරණය කළේය.

මෙම ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු රජය ලබා දුන් සහයෝගයට සිය ප්‍රණාමය පුද කරන බව මෙහි දී පැරාලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩකයෝ පැවසූහ.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *