රටේ එකම නීතියක් ස්ථාපිත කරමින් දළදා වහන්සේගේ අයිතිය නිකායවලින් බැහැර කර එය ජනසතු කළ යුතු බවත්, එහි සියලු ආවතේව කටයුතු මහා සංඝරත්නයට පැවරිය යුතු බවත්, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ බෞද්ධ හිමිකම් පිළිබඳ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසූහ.
ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ දී මෙම සාක්කි විමසීම සිදු වූ අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙය සංවිධානය කර තිබිණි.
පූර්ණ බලතල සහිත සංඝාධිකරණයක් පිහිටුවිය යුතු යැයිද, උපසම්පදා භික්‍ෂූණී ශාසනය ස්ථාපිත කර, නිකාය සහ සංඝ සභාවේ අවසරයකින් තොරව කලා නිර්මාණ සඳහා භික්‍ෂූ චරිතය යොදා නොගත යුතුයැයි ද ස්ථාපනය වූ එක් ත‍්‍රිපටකයක් පමණක් ජාතික උරුමය බවට පත්කර අනෙක් ඒවා පල්හෑලි සේ සලකා ප‍්‍රතික්ෂේප කළ යුතුයැයිද එහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
හිටපු යුද හමුදාපති ජනරාල් ආර්.එම්.ඩී.රත්නායක, හිටපු මිනුම්පති ඩබ්.එම්.කේ. සිල්වා, හිටපු බාලදක්‍ෂ කොමසාරිස් වාස්තු විද්‍යා මහාචාර්ය නිමල් ද සිල්වා, විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර පිනටෝ, ආචාර්ය ශාන්ති කුමාරි හෙට්ටි ආරච්චි, ශ්‍යාම් නුවන් ගනේවත්ත, විශ‍්‍රාමික පොලිස්පති චන්‍ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරු මෙම කොමිසමේ සාමාජිකයෝ වෙති.
එහිදී සාක්කි දෙමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.
“ශ්‍රී ලංකාවේ බෞද්ධ හිමිකමට දැන් වසර 2300යි. එතරම් කාලයක් තිස්සේ පැවත එන බෞද්ධ හිමිකමට දැන් විශාල තර්ජනයක් එල්ලවෙමින් එනවා. එය සොයා බැලීමට කොමිසමක් පත් කිරීම ගැන සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දඩමීමා කොටගෙන බටහිරින් ආපු මානව හිමිකම්, මානව අයිතීන්, පුද්ගල අයිතීන් ආදිය පිළිබ`ද අන්තවාදී මතවවල එල්බගෙන අපි වැරදි මගක යන බව පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.
රටකට නීති දෙක තුනක්, රටකට ආණ්ඩු දෙක තුනක් තිබිය යුතු නෑ. තිබිය හැක්කේ එකම ආණ්ඩුවයි. ඒ ආණ්ඩුව විවිධ නම්වලින් ස`දහන් වෙන්න පුලුවන්. රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වෙන්නේ එකම අධිකාරියයි. ඒ අධිකාරියට යටත්ව රටේ පැවතිය යුත්තේ ස්ථාපිත විය යුත්තේ එකම නීතියයි.
නමුත් ලංකාවේ ජනවර්ග හැටියට, ආගම් හැටියට නීතිය විවිධාකාරයෙන් ක‍්‍රියාත්මක වන ආකාරයක් අපට පේනවා. ෂරියා නීතිය කියලා එක කොටසක නීතියක් ක‍්‍රියාත්මක වෙනවා. තේසවලාමේ නීතිය කියලා තවත් කොටසක ක‍්‍රියාත්මක වෙනවා. තව විවිධ නීති භාවිත වෙනවා.
ලංකාවේ 72%ක් වන බෞද්ධයන්ගේ හිමිකම අහිමි කරමින් වෙනත් ජනවර්ගවලට විශේෂත්වයක් පැවරෙන පැනවෙන නීතික‍්‍රම ලංකාවේ භාවිතවනවා. වහාම මේ නීතික‍්‍රම අවලංගු විය වියුතුයි. සමස්ත ශ‍්‍රී ලංකාවට එකම නීතියක් ක‍්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුණහොත් බෙදීම, වෙන්වීම, වාර්ගීකරණය මගින් අහිමි වන්නේ බෞද්ධයන්ගේ අයිතියයි.
සිංහල බෞද්ධ කියන නාමය අනන්‍යයි. සිංහලයාගේ චාරිත‍්‍රධර්ම, සංස්කෘතිය, ශිෂටාචාරය සියල්ල පදනම් වෙන්නේ බුදු දහම මුල්කරගෙන. විවිධ සංස්කෘතීන් තියෙන්න පුලුවන්. සිංහල සංස්කෘතියක් කියලා එකක් නෑ. තියෙන්නේ බෞද්ධ සංස්කෘතියයි. සිංහලයන්ට බුදුදහම රැකිය යුතුයි. බුදුදහම නැතිවුණොත් සිංහලයා නැතිවෙනවා. සිංහලයා නැතිවුණොත් බෞද්ධ සංස්කෘතිය නැතිවෙනවා. සිංහලකම නැති වෙනකොට බුදුදහමට තැනක් නැතිවෙනවා. සිංහලයාගේ අයිතිය ක‍්‍රියාත්මක විය යුතුයි රටේ විවිධ නීති පවතින්න බැහැ.
බෞද්ධ තොරතුරු සොයා බැලීමට පෙර පත්කළ කොමිසන් සභාවල තියන නිගමන සැලකිල්ලට ගත යුතුයි. ඒ නිගමනවල වැදගත්ම කාරණය තමයි නීතිගත කළ බුද්ධ ශාසන මණ්ඩලයක් පත් කිරීම. එය අත්‍යවශ්‍යයි. ගිහි පැවිදි නියෝජිතයන් ඊට පත් කළ යුතුයි. ඉස්ලාම්, හින්දු, ක‍්‍රිස්තියානි වැනි අන්‍ය ආගමවල ක‍්‍රියාකාරීත්වය බෞද්ධයන්ට බලපාන ආකාරය ගැන මේ මණ්ඩලය දැනුවත් විය යුතුයි.
අන්‍ය ආගමික සංවිධානවලට මුදල්, ධනය, ශක්තිය එන්නේ කොහෙන්ද? දේපල අත්පත් වෙන්නේ කොහොමද? පරිපාලනය වෙන්නේ කොහොමද? රාජ්‍යයට බදු ලැබෙන්නේ කොහොමද? මේ කාරණා මේ මණ්ඩලය දැනුවත්විය යුතුයි. බුද්ධ ශාසන මණ්ඩලයේ සංවිධිතභාවය ලැබෙන්නේ ක‍්‍රමාණුකූල සංඝ සභාවකටයි. උත්තර සංඝ මණ්ඩලයක් වහාම පත්කරන්න කියලා අපි යෝජනා කරනවා. ශාසනික අණපනත්, භික්‍ෂු චර්යාව, භික්‍ෂු අධ්‍යාපනය, බෞද්ධ විරෝධී බලවේගවලට මුහුණ දෙන ආකාරය, භික්‍ෂූන් වහන්සේගේ එක මතයක් ප‍්‍රකාශ කිරීම තීරණය වියයුතුයැයි මම කොමිෂන් සභාවට සභාගත කරනවා.
ඉතාමත් ඉක්මණින් සංඝාධිකරණයක් පිහිටුවිය යුතුයි. සංඝයාට එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් තීන්දු ගැනීම එමගින් සිදුකර ගිහි විනිශ්චයකාරවරුන් හමුවට ගොස් රස්තියාදුවීමට ඉඩ නොතැබිය යුතුයි. උදාහරණයක් ලෙස මුස්ලිම් ආවාහ, විවාහ පිළිබ`ද තීන්දු තීරණ දෙන්නේ වහබ් උසාවියෙන්. උලමා සංවිධානයේ නියෝජිතයන් තිදෙනෙක් ඒ තීරණ ගන්නේ. මුස්ලිම් කාන්තාවන් උසාවිගානේ ගිහිං නීතීඥයන්ගේ හරස් ප‍්‍රශ්නවලට උත්තර දෙනඑක නැතිකරලා, ඒ විළිබිය ඇතිකරන්නලු මේ වහබ් උසාවි දීලා තියෙන්නේ. එතකොට සිංහල ගෑනුන්ට විළිබිය නැද්ද?
ඒ නිසා බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ අයිතිය රැකෙන පරිදි නීතිය ස්ථාපිත කරන්න බලතල සහිත සංඝාධිකරණයක් දෙන්න. තුන් නිකායටම බැරිනම් රාමඤ්ඤ නිකායටවත් දෙන්න. ඒ අධිකරණය මගින් ගන්නා තීන්දු තීරණ ආණ්ඩුව මගින් ක‍්‍රියාත්මක කරන්න.
දැන් යම් විහාරස්ථානයක භික්‍ෂූත්වයට නොගැළපෙන ආකාරයට ක‍්‍රියාකරන භික්‍ෂුවක් පාරාජිකාවී ඇතිබවට තීන්දු කර ශාසනයෙන් නෙරපීමට තීරණය කරනවා. ඒ භික්‍ෂුව සංඝ සභාවේ එකී තීරණයට විරුද්ධව ආණ්ඩුවේ රෝම ලන්දේසි නීතිය ක‍්‍රියාතමක වෙන උසාවියට යනවා. රෝම ලන්දේසි නීතියේ පාරාජිකාවීම පිළිබ`ද සැලකිල්ලක් නෑ. සංඝ සභාවේ තීරණ බලරහිත කරන තීන්දු දෙනවා. පාරාජිකා වූ භික්‍ෂූන් ශාසනයේ රැදෙනවා. නමුත් බලතල සහිත සංඝාධිකරණයක් දුන්නොත් මේ තත්ත්වය නැතිකරලා සංඝ ශාසනයත්, බෞද්ධයාත් රකින්න පුලූවන්. එතකොට අසංවරව, අසංවිධිතව, විනය කඩවන ලෙස හැසිරෙන භික්‍ෂු සමාජයට එරෙහිව බෞද්ධ නිය නීති අනුව පියවර ගත හැකියි.
වැඩිම දුක්විදන්නේ, වැඩිම බරක් දරන්නේ, වැඩිම වෙහෙසක් ගන්නේ, කාන්තාවන්. කුස්සියට ගිහිං කාන්තාව කවුන්සලිං කරන්න පුලුවන් භික්‍ෂුණියට. ඒ නිසා කාන්තාවන්ගේ අයිතිය තහවුරු කිරීමේ පදනම ඇතිව දැනට පවත්වාගෙන යන භික්‍ෂුණී ශාසනයට පිළිගැනීමත් ඇති කර උපසම්පදා භික්‍ෂූණී ශාසනයක් ඇතිකළ යුතුයැයි කියලත් යෝජනාවක් ඉදිරිපත් කරනවා.
දළදා වහන්සේගේ අයිතිය නිකාය වලින් බැහැර කර සඟ සතු සහ ජන සතු වියයුතුයි කියලත් යෝජනා කරනවා. දළදා වහන්සේගේ භාරකරත්වයේ නායකත්වය සමස්ත බෞද්ධ ජනතාව විසින් පත්කළ යුතුයි. දැන් දියවඩන නිලමේ පත් කරන විට අනෙක් නිකායවල මහානායකවරුන්ගෙන් වත් විමසන්නේ නෑ. ඒ නිසා දළදා වහන්සේගේ අයිතිය ජනසතුවී වතාවත් සමස්ත සංඝ සමාජයට ම හිමි විය යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කරනවා.
මාළිගාවේ පාලන මෙහෙවර ඡන්ද අයිතිය කාන්තාවන්ටත් හිමිවිය යුතුයි. ශ‍්‍රී මහා බෝධියේ වැඩකටයුතුවලට කාන්තාවන් සම්බන්‍ධ කරගත යුතුයි. දළදාව වගේම ශ‍්‍රීමහා බෝධිය වැඩම කරවාගෙන ආවේ කාන්තාවන්. නමුත් කාන්තාවන් පිළී ජාතියක් කියලා මේ ආවතේවවලින් ඉවත් කරලා දාලා තියනවා. මම මේ කමිටුවට යෝජනා කරන්නේ කාන්තාවන් දළදා මාළිගාවේ සහ ජය ශ‍්‍රීමහා බෝධියේ කටයුතුවලට සම්බන්‍ධ කරගත යුතුයි කියලයි.
භික්‍ෂුත්වය නැතිකරන මාධ්‍ය කුමන්ත‍්‍රණයක් තියනවා. නාට්‍ය වැනි කලා නිර්මාණවලට භික්‍ෂු චරිත යොදාගන්නවා. භික්‍ෂුත්වය යොදාගත් මේ කලා නිර්මාණවල අවසානයේ භික්‍ෂුත්වයට අගෞරවයක් හිමි වෙන්නේ. භික්‍ෂූ චරිත කලා නිර්මාණ සදහා යොදා නොගත යුතුයි. නීතිගත නිකාය සභාවක අවසරයක් නොමැතිව භික්‍ෂු චරිත කලා නිර්මාණ සඳහා යොදා නොගත යුතුයි. අනාගතයේ සංඝ සභාවෙන් ඒ අවසරය ගතයුතුයි.
සංඝාධිකරණ නායකකම බලයක් නැති නිකම්ම නිකම් කඩදාසියක් පමණයි. වර්තමානයේ බෞද්ධ පරිහානිය සම්බන්‍ධයෙන් සොය බලා තීරණයක් ගැනීමට සංඝායනාවක් අවශ්‍යයැයි කියලත් යෝජනා කරනවා.
ත‍්‍රිපිටකට ජාතික උරුමයක් කිරිම පිළිබඳව අපට තියෙන්නේ අපැහැදිලි කමක්. මේකන් බුදුදහමට, ත‍්‍රිපිටකයට ඇතිවුණ ආලෝකය කුමක්ද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නෑ. අපි හැමෝම අන්ධානුකරණයෙන් පස්සෙන් දිව්ව එකයි කළේ. ඒ නිසා ත‍්‍රිපිටකය ජාතික උරුමයක් සහ ලෝක උරුමයක් කිරීම සම්බන්‍ධයෙන් වහාම අර්ථකථනය දෙන්න. අර්ථකතනය තුළින් පෙන්වන්න ඉන් ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද කියලා. අරමුණ සහ අපේක්‍ෂිත ප‍්‍රතිඵලය මොනවාද?
ත‍්‍රිපිටක විවිධයි. බයිබලය, අල්කුරාණය ලෝකේ කොහේ ගියත් එකයි. ඒ නිසා ස්ථාපනය වු ත‍්‍රිපිටකය සංරක්‍ෂණය කර ජාතික උරුමය බවට පත්කර අනිත් ඒවා පල්හෑලි ලෙස ප‍්‍රතික්ෂේප කරන්න. ඒ එක්කම ධර්මය විකෘති කළ පුද්ගලයන්ට දඩුවම් දෙන්න. වැරදි නිර්වචන දීපු පොත් නම් කරලා ඒ අයට දඬුවම් දිය යුතුයි. ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කියන එක ජනතාව රවටන මාධ්‍ය සංදර්ශන පමණයි. කළ යුත්තේ එක ත‍්‍රිපිටකයන් තහවුරු කර අනික් ඒවා ප‍්‍රතික්‍ෂේප කළ යුතුයි.
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියන එක ලංකාවේ පිරිනිවන් පෑවා කියන එක ත‍්‍රිපිටක විරෝධී අදහසක්. අනික් කාරණය තමයි පෙරහර වැනි බෞද්ධ උරුමයන් අනික් කිසි කෙනෙකුට බාධාවක් නොවන පරිදි කළ යුතුයි. පාරවල්වල යන මගීන් පැය ගණන් රස්තියාදු කරමින් බෞද්ධ පෙරහර නොපැවැත්විය යුතුයි කියලත් යෝජනා කරනවා” යැයි හිමියෝ පැවසූහ.
ලංකාදීප