දයාසිරි හදලා තියෙන්නේ සන්ධානයක් නෙමෙයි අට්ටාලයක්…! – මෛත්‍රී….

March 25, 2024 at 11:27 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ගොඩනඟා ඇත්තේ සන්ධානයක් නොව අට්ටාලයක් යැයි ශ්‍රීලනිප සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙරට සාර්ථක සන්ධාන වැඩිම සංඛ්‍යාවක් ගොඩනැඟුවේ තමන් බව ද ඒ මහතා කීය.

අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ වේඬරුවේ උපාලි අනුනාහිමි ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිරිසේන මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු කර 2004දී සන්ධානයක් ගොඩනැඟීමට තමන් මාස හතක් සාකච්ඡා කළ බවත් ඇතැම් අවස්ථාවල රාත්‍රී 7.00ට ආරම්භ වන සාකච්ඡා අවසන් වන්නේ අලුයම 3.00ට පමණ බවත් කී සිරිසේන මහතා සාකච්ඡාවේ සිටි හැමෝම නිදිමත නිසා නැඟිට යද්දී තමන් පමණක් අවසානයේ ඉතිරි වන බව ද අවධාරණය කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂ නායකත්වය දරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977න් පසු ජනපතිවරණයේදී ජනමත විචාරණයේදී හා ඊට පසුව ආ අතුරු මැතිවරණවලදී සන්ධාන ගොඩනඟා තිබෙන බවත් ඒ සියල්ල තමන් නියෝජනය කර තිබෙන බවත් ඒ මහතා කීය.

ඒ අනුව සන්ධාන පිළිබඳ තමන්ට තිබෙන අත්දැකීම් අද සිටින කිසිදු දේශපාලනඥයකුට නැතැයි ද හිටපු ජනපතිවරයා පැවසුවේය.

දේශපාලනයේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම අභියෝග තිබෙන බවත් අභියෝග සම්බන්ධයෙන් දේශපාලනඥයන් ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට ද නොයෙක් ආකාරයේ අභියෝග තිබෙන බවත් කී ඒ මහතා පක්ෂයේ මහ ලේකම්වරු පක්ෂය හැර ගිය අවස්ථා ඉතිහාසය පුරා දක්නට ලැබෙන බව ද අවධාරණය කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය අත්හැර දමා පොදු අපේක්ෂක ලෙස ජනපතිවරණයට ඉදිරිපත් නොවූ බවත් එම අවස්ථාවේ ශ්‍රීලනිප මහ ලේකම් ලෙස සංවිධාන 49ක් සමඟ තමන් ගිවිසුම් අත්සන් කළ බවත් කී ඒ මහතා රටේ ජනපති වූ පසු පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් පැමිණ ශ්‍රීලනිප නායකත්වය භාර ගන්නා ලෙස ඉල්ලීම් කළ බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *