තෙල් අර්බුදය ඩොලර් හිඟ නිසා නෙමෙයි…! ගම්මන්පිලගේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණය නිසයි…! – පතිරණ…

March 2, 2022 at 9:53 am | by emanisa.lk

තෙල් අර්බුදය ඇති වූ පසු එහි වගකීම ගැන බෝල පාස් කිරීම ඔබ නොපිළිගන්නා බවත්, ඔබ කෝප කරනු ඇති බවත් ඇත්තය. එහෙත් ඇත්ත කිව යුතුමය. මේ අර්බුදය සපුරාම ඇමතිවරයා විසින් හිතාමත නිර්මාණය කරන ලද්දක් බව විස්වාසයෙන් කියමි. ඇමතිවරයා කියන්නේ තෙල් ගෙන්වීමට ඩොලර් නැති බවයි. වර්තමානයේ වැනි ඩොලර් හිග කාලයක මෙවැනි ප්‍රකාශයක් කියූ සැණින් එය බොරුයි කීමට නොහැකිය. එය ජනතාව අතර පිළිගැනීමට ලක් වේ. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවේ. ඩොලර් හිග බව ඇත්තකි. කෙසේ වෙතත්, ඉන්ධන ආනයනය සඳහා ඩොලර් ඉල්ලූ සෑමවිටම ඒ සඳහා ඩොලර් ලබා දී ඇත. එසේ ලබා නොදුන් අවස්ථාවක් තිබේ නම් පෙන්වා දෙන ලෙස ඇමතිවරයාට අභියෝග කරමි. කිසි විටෙක ඩොලර් නොදී සිට නැත. තව ද ඩොලර් නැති වුණා නම් ඩීසල් නැති වී පෙට්‍රල් තිබෙන්නට ද හේතුවක් නැත. ඒ අනුව, ගම්මන්පිල ඇමතිවරයා ඉන්ධන සම්බන්ධයෙන් කියන්නේ පට්ටපල් බොරුවකි.

ගම්මන්පිල මෙසේ කරමින් සිටින්නේ ඇයි? දැන් මාස ගණනක් තිස්සේ ඔහු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලමින් සිටින්නේ ඉන්ධන මිළ වැඩි කරන ලෙසයි. එහෙත් අමාත්‍යාංශය ඊට එකඟතාව පළකර නැත. ඇරත් මිළ වැඩි කළ ද ඩොලර් ලැබෙන්නේ නැත. එසේ නම් මෙහි තර්කයක් ඇත්තේ නැත. එසේ වුවත් මිළ වැඩි කළ සැණින් ජනතාව තවත් අසීරුතාවට පත් වේ. ගම්මන්පිලගේ අරමුණ එය සිදුවීමට හැරීමය. කෙසේ වෙතත්, මිළ වැඩි නොකරන පසුබිමක ඔහු අපූරු වැඩක් කළේ ය. ඒ තෙල් සඳහා අන්තර්ජාතික ඇණවුම් ලබා දීම ප්‍රමාද කිරීමයි. අද රටේ පවතින තෙල් අර්බුදය එන්නේ, අන් කිසිත් නිසා නොව, ඒ ක්‍රියාව නිසාය. දැන් මිළ වැඩි කිරීම හරහා කළ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම තෙල් හිගකිරීම හරහා ඉටු කර⁣⁣⁣⁣ගෙන ඇත.

කෙක්කෙන් හෝ කොක්කෙන් එය සිදුකොට රටේ මහා අර්බුදයක් ඇති බව පෙන්වීම මේ ගම්මන්පිල හා ඔහු සමග සිටින දේශපාලන කණ්ඩායමේ අරමුණයි. මේ පිළිබඳ එම කණ්ඩායමේ සිටින කුඩා පක්ෂවල පිරිස් පවා දන්නේ නැත. ඔවුන්ව ද රවටා ඇත. දැන් මෙම කණ්ඩායම තම මුල් පියවර ගෙන ඇත. අද හරිමග යනුවෙන් දේශපාලන වැඩක් කරමින් ආණ්ඩුවට ප්‍රකාශණයක් ලබා දීමට සැරසෙන්නේ තමන් විසින් ම නිර්මාණය කළ මේ අර්බුදය ජනතාව හමුවේ උණුසුම් ව තබමිනි. මේ අනුව, තෙල් හිගවීම, ජනතාව දැඩි අපහසුතාවට පත්වීම හා එහි දේශපාලනය ඔබ විසින් තේරුම් ගැනීම මේ තීරණාත්මත මොහොතේ අතිශයින් ම වැදගත්ය.

(මේ ගැටළුව සේම, මේ නිසා හටගත් විදුලි අර්බුදයට ද ඉදිරි සතිය තුළ විසඳුම් ලබා දීමට මේ වන විටත් වැඩ පිළිවෙලක් දියත් කර ඇත)

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *