ඩබ්ල් ගේම් ගහන්න එන්න එපා! තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න! – ජනාධිපති කොමිසමෙන් නීතිපතිට රතු එළියක්….

June 24, 2020 at 3:31 pm | by emanisa.lk

ද්විත්ව චරිත නිරූපණයක නොයෙදෙන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) දැනුම් දුන්නේය.

තම සීමාව ඇතුළත සියලු දේ කරන ලෙස නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට අවවාදාත්මකව දැනුම් දුන් සභාපති විනිසුරුවරයා, තම සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙසද දැනුම් දුන්නේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ ක්‍රියාකිරීමට නීතිපතිවරයාව ඇති බලය පැහැදිලි කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එලෙස ප්‍රකාශ කළේය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ විමර්ශනය පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ආරම්භ කරනු ලැබුවේ එය තම කොමිසමේ විෂය පථයට වැටෙන බවට නිවැරදි නිගමනයට එළැඹීමෙන් පසුව බව අවධාරණය කළ සභාපති විනිසුරුවරයා, ජනාධිපති කොමිසම විසින් සිදුකරන වැඩවලට බාධා නොකරන ලෙසට නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කරමින් සභාපති විනිසුරු උපාලි අබේරත්න එසේ ප්‍රකාශ කළේය. කොමිසමේ සම්පූර්ණ වාර්තාව 14 පිටුවේ පළවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස